ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් ප්‍රථම වරට සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ/ උතුරුමැද පළාත් කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී සබරගමුව පළාත් කණ්ඩායම ඔවුන් හමුවේ කඩුලු 06කින් පරාජය විය.
තෙදිනක් පුරා මෙම තරගාවලිය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි අවසන් වටයේ තරග සඳහා දකුණ, ඌව, මධ්‍යම, සබරගමුව, උතුර, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ/උතුරුමැද කණ්ඩායම් සහභාගි විය.
තරගාවලියේ වීරයාට හිමි සම්මානය සබරගමුව කණ්ඩායමේ සමන්ත ෆොන්සේකාට හිමි වූ අතර, අවසන් තරගයේ වීරයා ලෙස වයඹ/උතුරුමැද කණ්ඩායමේ එම්. ඩිල්ෂාඩ් සම්මාන ලැබීය.
අවසන් තරගයේ ත්‍යාග හා ජයසංකේත ප්රදානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ මහත්වරු සිදු කළහ. බී මීඩියා ප්රචාරක ආයතනය මෙම තරගාවලියට අනුග්‍රහය දැක්විය.
සබරගමුව කණ්ඩායම 51/10 (පන්දුවාර 16.2)
කසුන් ජයසිංහ 9, සුජිත් 8/3, රොෂාන් 12/3
වයඹ උතුරුමැද කණ්ඩායම 52/4 (පන්දුවාර 09)
එම්. ඩිල්ෂාඩ් 26, ඉන්දික නන්දසිරි 13, සමන්ත ෆොන්සේකා 29/3