කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතාව පසුපස ඔහුගේ කැපවීම තිබෙන අතරම ඔහුගේ පියාගෙන් තමාට ලැබූ පන්නරය එහිදී ප්රමුඛ කරුණක් බවට පත්වූ බව සංගාම සඳහන් කර තිබේ.කුමාර්ගේ පියා වන ක්ෂේම සංගක්කාර කුමාර්ගේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයා ලෙස හැඳින්වීමේද වරදක් නැත. සංගා දැන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇත. ඔහුගේ ක්‍රීඩා දිවිය සංගාගේ අනාගතය පිළිබඳව තමන් සිතන ආකාරය පිළිබඳව ක්ෂේම සංගක්කාර 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් සේවයට විශේෂ ලිපියක් මගින් පැහැදිලි කර තිබුණි. මේ එහි සිංහල පරිවර්තනයයි.
"කුමාර් පිතිකරණයේ යෙදෙනවා බලද්දී මම ටිකක් කලබල වෙනවා. ඒ නිසයි මම ඔහුගේ තරග සජීවීව පිටියට ගිහින් බලන්නෙ නැත්තේ. ගෙදරදී පවා මම ඔහුගේ තරග බලන්නෙ ඔහු හොඳ තත්ත්වයක සිටිනවා දුටුවොත් පමණයි. මම ඔහු හොඳ රිද්මයක ඉන්නවා නම් ඒක දන්නවා. ඔහුගේ ශරීරය නියම රිද්මයට තියනවා නම්, ඔහු පන්දුව දිහා හොඳින් බලනවා නම් මම කුමා ක්‍රීඩා කරන තරග නරඹනවා.
කුමාර් තාක්ෂණයෙන් අනූන ක්‍රීඩකයෙකු වුවත් ඔහුට තිබූ කුසලතා අනුව මීට වඩා දේවල් කරන්න පුළුවන්කම තිබුණා කියා මම හිතනවා. ග්රැහැම් පොලොක්ගේ හා ගැරී සොබර්ස්ගේ සාමාන්‍ය හා කුමාගේ සාමාන්‍ය සම මට්ටමක තිබෙනවා කියා බොහෝ දෙනෙක් කියනවා. නමුත් ඔවුන්ට වඩා වැඩි දෙයක් කුමාර්ට කරන්න තිබුණා. ඔහු පන්දු යවන්නන්ට ඔහුව දවාගන්න අවස්ථාව දුන්නා. පන්දු යවන්නාට ඔහුව දවාගැනීමට අවස්ථාව නොදී.
ඩ්‍රොනල්ඩ් බ්‍රැඩ්මන් කියන්නෙ මට විශිෂ්ට පිතිකරුවෙක්. ඔහු සෑම ඉනිම් තුනකට සැරයක් ශතකයක් වාර්තා කර තිබෙනවා. ඔබ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වෙනවානම් ඔබට ඒ දේ කළ යුතු වෙනවා. කුමා ඒක හොඳින් කළා. මාව වරදවා හිතන්න එපා.
නමුත් ඔහු හොඳින් ඉලක්කවලට ළඟා වූණාද? මම එහෙම හිතන්නේ නෑ.
මම කුමාර් සමග ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තෙ පුංචි කාලෙ සිටමයි. ඔහුට යමක් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ බව ඔහු පිතිකරණයේ යෙදෙන විට දැකගන්න පුළුවන්. නමුත් ග්‍රහණය හා තාක්ෂණය කියන්නෙ දෙකක්. මම දකින විදිහ අනුව නම් මහේල ජයවර්ධනට හොඳ තාක්ෂණයක් තිබුණා. මහේලට වඩා ලකුණු රැස්කිරීමට කුමාට හැකිවූයේ ඔහුගේ චිත්ත ස්වභාවය හා අධිෂ්ඨානය අනුව. මම තාමත් විශ්වාස කරනවා මහේල ජයවර්ධන, මාවන් අතපත්තු හා අරවින්ද ද සිල්වා මැද සිට හොඳින් තරගය පාලනය කළා කියලා.
කුමාර් හැමවෙලේම කෙටි පන්දුවට හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඔහුට පසු පාදයේ හොඳ තාක්ෂණයක් තියෙනවා. නුවර තණතීරු තරමක් පන්දු දෝලනය කරනවා දකුණු පළාතෙ තණතීරුවලට වඩා. කුමාර් හැදුණෙ නුවර තණතීරුවල. නමුත් මහේල තරමක් වාසනාවන්ත වුණා ඔහුගේ කුඩා කාලෙ සිටම දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න.
කුමාර් කවදාවත් ඔහුගේ පාදයන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් යොදා ගත්තෙ නෑ. ඔහු දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඔහුගේ ක්‍රීඩා දිවියේදී හොඳින් දක්ෂතා දැක්වූයේ නෑ. ඒක මට තරමක් කරදර ගෙන දෙන්නක් වුණා.
සුනිල් ගවස්කාර් කියන්නෙ බොහෝ දේවල් තිබුණ පිතිකරුවෙක්. සාර්ථක පිතිකරුවෙක් හරියට බොක්සිං ක්‍රීඩකයෙක් වගෙයි. ඔබට වට 12ක් බලාගෙන ඉන්න වෙනවා අවසානයේ තරගයක් දිනන්න. මම සහතික කරනවා කුමාර් හැදුණෙ සුනිල් ගවස්කාර් හා දොන් බ්‍රැඩ්මන් ගැන ගොඩාක් බලලා. ඒ වගේම ඔවුන් ගැන ගොඩක් කියවලා.
මම කියන්නෙ නෑ කුමාර්ට උපතින්ම දක්ෂතාවක් තිබුණා කියලා. නමුත් ඔහුට කුසලතාවයෙන් පිරිපුන් අත් දෙකක් තිබුණා.
ගොඩක් අය මේක දන්නෙ නෑ. ඒ තමයි ඔහු හොඳ ටෙනිස් ක්‍රීඩකයෙක් කියන කරුණ. ටෙනිස් තමයි ඔහුගේ පළමු ක්‍රීඩාව. ඔහුගේ සහෝදරිය, සාරංගා ඔහුට වඩා ප්‍රවීණ ක්‍රීඩිකාවක් වුවා. ඇයට යන්තම් අවුරුදු 15 වෙද්දී තමයි ඇය ජ්‍යෙෂ්ඨ ජාතික ටෙනිස් ශූරතාව දිනුවේ. මම තවමත් හිතනවා ඇය තමයි එවැනි දක්ෂතාවක් දැක්වූ එකම උඩරට ක්‍රීඩිකාව. ඇය ඇමෙරිකාවට ගිහිනුත් හොඳින් කළා.
ඇයට හොඳ අනාගතයක් තිබුණා නමුත් ඇයගේ ක්‍රීඩාව විනාශ කළේ ඇයට තිබුණු උරහිසේ ආබාධයයි. ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රීඩකයන්ට නැති ශක්තිමත් දෑත් ඇයට තිබුණා. නමුත් කුමාර් කියන්නෙත් ටෙනිස් පිටියේදී දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු කවදාවත් ටෙනිස් වැදගත් ලෙස ක්‍රීඩා කළේ නෑ. ක්‍රිකට් ඔහුගේ පළමු ආශාව වුණා.
කුමාර්ට හා මට නිතතරම වාදවිවාද තිබුණා. වැඩියෙන්ම ක්රිකට්වලදී. මම වගේ නෙමෙයි ඔහුට ලංකාවේ නවීන ජීවිතයක් තියෙනවා. ඒ වගේම ඔහුට දේශපාලනය ගැනත් හොඳ දැනීමක් තියෙනවා. ඔහු ලෝකය වටේ සංචාරය කරලා හොඳ දැනුමක් ලබාගෙන තියෙන්නේ. ඔහුට හැම දෙයක් ගැනම දැක්මක් තියෙනවා. මගේ බිරිඳ කියන්නෙ කුමා මා වගේමයි කියලා. ඒ අපි දෙන්නටම අපගේ අදහස් සම්බන්ධයෙන් තරමක් මුරණ්ඩු නිසා.
සංගාගේ බොහෝ ඉනිම් තියෙනවා මට මතක් කළ හැකි. ඔහු හොබාට් පිටියේදී ලකුණු 192ට දැවී ගිය ඉනිම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. ඒක මම දැකපු හොඳම ඉනිමක්. ඒකෙ හැම දෙයක්ම හරි. ලෝක කුසලාන තරගය හතරකදී එක දිගට වාර්තා කළ ශතක අතර ඔහුගේ හොඳ ළඟා කරගැනීමක්.
ශ්‍රේෂ්ඨයන් ලෙස අර්ථ දක්වන බොහෝ පිතිකරුවන් ඉන්නවා. නමුත් ඔවුන් හැම දෙනෙක්ම ඒ තත්ත්වයට ආවේ ඔවුන්ගේ වසය අවුරුදු 35 ඉක්මවූ විටයි. කුමාර්ත් ඔහුට අවුරුදු 35 ඉක්මවූවාට පස්සෙ ගොඩක් ලකුණු රැස්කළා.
මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඇති. නමුත් ක්‍රිකට් මගේ හදවතට සමීප නෑ. ඒක බොහෝ දුෂ්ට දේවල් ක්‍රීඩාවට ගෙනවා. මගේ පුතා අවංකව ක්‍රීඩා කරපු තරම්, ඒක හොඳ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි තවදුරටත්. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගවලදී, විස්සයි 20 ලීග තරගවලදී ඇසෙන දූෂණ, ක්‍රීඩාවේ පිංතූරය විනාශ කළා. කුමාර් අයි.පී.එල්. ක්‍රීඩා කිරීමත් එක්ක මට ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මම හිතන්නෙ ඔහු එහේ නොයන්නයි තිබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය දිනද්දී ඔහු පිටිය මැද හිටියත් කුමා කෙදිනවක් විස්සයි විස්ස තරගවලදී ශ්‍රේෂ්ඨ දක්ෂතා දැක්වූයේ නෑ.
ඔහුගේ විශ්‍රාම ගැනීම මට කියද්දී මට ගොඩක් කනගාටු වුණා. අපි දෙන්නම එකඟ වුණා දැන් කාලෙ ඇවිල්ලා කියලා. තවදුරටත් අල්ලාගෙන සිටීමෙන් ඵලක් නෑ කියා.
මේ දවස්වල මම වැඩිවශයෙන් කොළඹට පැමිණෙනවා, ඒ වගේම දුව තුෂාරි හා ඇයගේ දරුවන් බලන්න. මගේ මුණුපුරා මෙත්වන් පිළිබඳව මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඔහු කුමාගේ මෙන්ම සාරංගාගේ සංකලනයක්. මම දකිනවා ඔහු විශිෂ්ට ටෙනිස් ක්‍රීඩකයෙක් වෙන ලකුණු. මම දන්නෙ නෑ කුමාර් ඔහුගේ අනාගතය මොන විදියට සැලසුම් කරලා තියෙනවද කියලා. ඔහු මේ අවස්ථාවේදී නීතිය ගැන බරපතළ වශයෙන් හිතන්නෙ නෑ. මට ඒ ගැන අවවාද කරන්නත් බෑ. ඔහුට දැන් අවුරුදු 37ක්. ඔහුට නීතිය ගැන ඉගෙන ගන්නත් තව අවුරුදු පහක් විතර යයි. ඊට පස්සේ ඔහු අවුරුදු 50ට ළඟාවෙනවා.
මට ඔහුට නව අභියෝගයක් බාරදෙන්න තියෙනවා. මම හිතනවා ඔහු ඒක බාර ගනීවි කියලා. මට අවශ්‍යයි ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට යොමු කරන්න. ඔහුගේ ග්‍රහණය හා කුසලතාවෙන් පිරිපුන් අත් ඔහුව ගොල්ෆ් ක්‍රීඩාවේ ඉහළින්ම තබාවි. ඔහු අවුරුදු 20ක සිට දැන් වෘත්තීමය ක්‍රීඩකයෙක්. ඒ තරගකාරීත්වය කවදාවත් මැරෙන්නෙ නෑ. ගොල්ෆ් තවදුරටත් ඒ තත්ත්වය ඔහුට රැගෙන ඒවි. ඒ වගේම තව අවුරුදු 30ක් පමණ ඔහුට ගොල්ෆ් ක්‍රීඩා කරන්නත් පුළුවන්.
ඡායාරූපය - ශාන්ත රත්නායක