මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර බැවින් ඔහුගෙන් ලබාගත හැකි සෑම දැනුමක්ම මේ කාලයේදී ලබාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදී අද (25දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පිළිබඳව ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ගාල්ලේදී පැවැති අතර, පසුගිය ඉරිදා (21දා) අවසන් වූ එම තරගයෙන් පාකිස්තානු කණ්ඩායම හමුවේ කඩුලු දහයක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. එම නිසා එම තරගය අවසන්වී කෙටි කාලයකදී කණ්ඩායමේ විශාල වර්ධනයක් දැකගත නොහැකි බව මැතිව්ස්ගේ අදහසයි.
"දින දෙකක් වැනි කෙටි කාලයකින් ලොකු වැඩ කොටසක් කරන්න බැහැ. අපි පුහුණුවීම් හොඳින් කළා. නමුත් ප්රශ්නය තියෙන්නේ පුහුණුවීම් කටයුතුවල නෙමෙයි, අපි මානසිකව දෙවැනි තරගයට සූදානම් විය යුතුයි. පළමු තරගයේ කරපු වැරදි සාකච්ඡා කළා. එම වැරදි මෙම තරගයේදී නිවැරදි කරගන්න බලාපොරොත්තුවෙනවා".
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන් කෙරෙහිද වැඩි වශයෙන් බලාපොරොත්තු තබා සිටින ශ්‍රී ලංකා නායකයා පළමු තරගයට ක්‍රීඩාකළ පිතිකරුවන් සමගින් අද තරගයට පිවිසීමට බලාපොරොත්තු වේ. කෙසේ නමුත් පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුවිය හැකි බව ඔහුගේ නිගමනය වී ඇත.
"පිතිකරුවන්ගේ වෙනසක් වන්නේ නැහැ. ක්‍රීඩකයෙකුට සීමිත අවස්ථා ප්‍රමාණයක් ලබාදීලා ඔවුන් කණ්ඩායමෙන් එළියට දාන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එමනිසා උපක්රමික වශයෙන් වෙනසක් කළොත් ඇරෙන්න පළමු තරගයට ක්‍රීඩාකළ පිතිකරුවන් දෙවැනි තරගයටත් ක්‍රීඩා කරවි. නමුත් කණ්ඩායමේ පන්දු යවන්නන් තාම තීරණය වෙලා නැහැ. මේ වනවිට ඩිල්රුවන් ආබාධයකට ලක්වෙලා ඉන්නේ. ඒ වගේම ධම්මිකත් (ධම්මික ප්‍රසාද්) ආබාධයකට ලක් වුණා. එමනිසා පන්දු යවන්නන්ගේ යම් යම් වෙනස්කම් සිදුවෙන්න පුළුවන්".
මහේල ජයවර්ධනගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර බැවින් ඔහුගෙන් ලබාගත හැකි සෑම දැනුමක්ම මේ කාලයේ ලබාගැනීමට මැතිව්ස් මෙන්ම සෙසු පිතිකරුවන්ගේද අපේක්ෂාව වී ඇත.
"මහේල හා සංගක්කාරගෙන් පසු කණ්ඩායමේ ගොඩක් පරිණත ක්‍රීඩකයන් අඩුයි. එමනිසා අපි හැමෝම මේ කාලයේ සංගගෙන් පුළුවන් තරම් ඉගෙන ගන්නවා. එවිට කාලයත් සමග ක්‍රීඩකයෝ ඔවුන්ගේ පරිණතභාවය ඔප්පු කරයි. ක්‍රීඩකයන්ගේ විස්වාසය මත ඉදිරියට යන්න ඕන ගමනක් මේක. නායකයෙකු වශයෙන් මම විශ්වාස කරනවා ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්න කරන්න ඔවුන්ගේ පරිණතභාවය ඔප්පු කරයි කියලා".