සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර වයස 19 පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා (12දා) පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 04 ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 284 ක් රැස්කිරීමට සමත් විය. ඉනිම ඔසවා තැබූ අමන්දීප් ඛාරේ ලකුණු 102 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 54කට කඩුලු 03 ක් බිඳහෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් ක්රීඩාරමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඒ හේතුවෙන් ඉන් ඉදිරියට තරගය පැවැත්වීමට නොහැකි විය. තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 250 ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමිවීමට නම් ලකුණු 255 ක් රැස්කරගෙන සිටිය යුතු වූ හෙයින්, ලකුණු 04ක් තියුණු ජයක් ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
නායක චරිත් අසලංක (74) හා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (75) අර්ධ ශතක රැස්කළත්, ඔවුන්ගේ සියලු උත්සාහයන් ජයග්‍රහණයකින් අවසන් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. රාහුල් බේතම් කඩුලු 02 (ලකුණු 32) දවාළමින් ඉන්දීය පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළේය.
මෙම තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් සිකුරාදා (11දා) පැවැති පළමු තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 84ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙහි ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගය අද (14දා) පැවැත්වේ.