වගකීම් අකුරටම ඉටුකළ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය හේතුවෙන් සංචාරක කොදෙව් කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (09දා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 30 ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 216ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 19.5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ක්‍රීඩා ලෝලීන්ද මඳකට ලොමුදැහැගැන්වූ ඇන්ඩ්‍රෘ ෆ්ලෙචර් (57), ඩ්වෙන් බ්රාවෝ (24) හා කිරන් පොලාඩ්ගේ (26) ප්‍රහාරාත්මක ඉනිම් හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට කොදෙව් ජයග්‍රහණය අස්වැද්දිය හැකි ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි විය. තම ක්‍රිකට් දිවියේ හොඳම විස්සයි20 පන්දු යැවීම සනිටුහන් කළ සචිත්ර සේනානායක කඩුලු 04 ක් (4/46) බිඳහෙළමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය එළිපෙහෙළි කරදුන් අතර, ඒ සඳහා මිලින්ද සිරිවර්ධනගෙන්ද (2/41) උපරිම දායකත්වය හිමිවිය.
කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස්කිරීමට සමත්විය. මෙය මවුබිමේදී ශ්‍රී ලංකාව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර 2011 වර්ෂයේදී මෙම ක්‍රීඩාංගණයේදීම ඔස්ට්‍රේලියාවට එරෙහිව (198/3) ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර තිබුණි.
කුසල් පෙරේරා සමගින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට ලකුණු 91 ක් සබඳතාවක් එක් කළහ. කුසල් ලකුණු 40 ක් රැස්කරගෙන සිටියදී කිරන් පොලාඩ්ගේ පන්දුවක් හමුවේ ඩැරන් සාමී වෙත උඩපන්දුවක් ලබාදී දැවී යාමත් සමග එම සබඳතාව බිඳවැටුණි. ඉන් අනතුරුව ඩිල්ෂාන්ටද වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, ඉනිමට තවත් ලකුණු දහයක් එක්වන විට කිරන් පොලාඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්විය. ඩිල්ෂාන් (56) දැවී යනවිට සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය රැස්කරගෙන සිටියේය.
මෙම දැවීයාම් කිසිදු අයුරකින් කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකා ඉනිම පාලනයවීමට හේතුවක් නොවූ අතර, ඉන් අනතුරුව එක්වූ ශෙහාන් ජයසූරිය හා දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ලට ලකුණු 54 ක් වේගවත් සබඳතාවක් ගොඩනැගූහ. ඒ සඳහා ඔවුන්ට වැයවූයේ පන්දු 27 ක් පමණි. ලකුණු පුවරුව 155 ක් වනවිට සුනිල් නාරීන්ගේ පන්දුවක් හමුවේ ඔහු වෙතටම උඩපන්දුවක් ලබාදී ශෙහාන්ගේ (36) ඉනිම අවසන් විය.
එය ශ්‍රී ලංකාවට අහිමි වූ අවසන් කඩුල්ල වූ අතර, ශෙහාන්ගෙන් පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්, චන්දිමාල් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 60 ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා ඉනිම මුලු ලකුණු 215 ක් දක්වා රැගෙන ආහ.
මෙම තරගය ආරම්භයේදී වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ඊයේ (09දා) පැයක් ප්‍රමාදයකින් පසුව රාත්‍රී 8.00 ට තරගය ආරම්භ විය. කෙසේ නමුත් නියමිත පන්දුවාර සංඛ්‍යාවම ක්‍රීඩා කිරීමට හැකිවිය. තරගයේ වීරයා ලෙස සචිත්ර සේනානායක සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකාව 215/3 (පන්දුවාර 20)
තිලකරත්න ඩිල්ෂාන් 56 (37, 4x8)
කුසල් පෙරේරා 40 (30, 4x6, 6x1)
දිනේෂ් චන්දිමාල් නොදැවී 40 (19, 4x4, 6x2)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 37 (13, 4x2, 6x4)
ශෙහාන් ජයසූරිය 36 (22, 4x2, 6x2)
කිරන් පොලාඩ් 2/42 (4)
සුනිල් නරායන් 1/20 (4)
බ.ඉ. කොදෙව් 185/10 (පන්දුවාර 19.5)
ඇන්ඩ්‍රෘ ෆ්ලෙචර් 57 (25, 4x3, 6x6)
කිරන් පොලාඩ් 26 (18, 4x2, 6x2)
ඩ්වෙන් බ්රාවෝ 24 (12, 4x2, 6x2)
සචිත්ර සේනානායක 4/46 (4)
මිලින්ද සිරිවර්ධන 2/41 (4)
ලසිත් මාලිංග 2/19 (4)