(UPDATE) උපුල් තරංග හැරෙන්න අනෙකුත් සියලු පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් සත්කාරක පාකිස්තානු කණ්ඩායම සමගින් පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 07ක පරාජයක් අත්විඳීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (18දා) සිදුවිය. ඒ අනුව තරග 05කින් යුත් මෙම තරගාවලියේ තවත් තරග 02ක් ඉතිරිව තිබියදීම ශූරතාවට හිමිකම් කීමට පාකිස්තානයට හැකිවිය.
මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 10 වැනි එක්දින තරග පරාජය වූ අතර, පාකිස්තානය අඛණ්ඩව ලැබූ 07 වැනි එක්දින තරග ජයග්රහණයද විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 209ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම කඩුලු 03ක් දැවී තරගයේ 42.3 වැනි පන්දුවාරයේදී ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් විය.
පාකිස්තානු ක්‍රීඩකයෙකු ක්‍රීඩාකරන මංගල තරගයේදී එම ක්‍රීඩකයාට සාර්ථකවීමට අවස්ථාව ලබාදීමේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ සිට සිදුකරන වැරැද්ද මෙම තරගයේද සිදුකළ අතර, පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ ආරම්භක ඉමාම්-උල්-හක් රැස්කළ ශතක ඉනිම (100) පාකිස්තානු ජයග්‍රහණයේ පදනම විය.
ඉමාම්ගේ ඉනිම පාකිස්තානු ක්‍රීඩකයෙකු පළමු එක්දින තරගයේදී ක්‍රීඩාකළ දෙවැනි ශතකය වූ අතර, මීට පෙර 1995 වසරේදී සලීම් එලාහි ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 102ක් රැස්කර තිබුණි. එමෙන්ම මෙම ඉනිම ලෝක එක්දින පිටියේ ළාබාල පිතිකරුවෙකු රැස්කළ තෙවැනි ශතකයද විය.
ඉමාම්ට අමතරව ආරම්භක පිතිකරු ෆාකර් සමාන් (29), බාබර අසාම් (30), මොහොමඩ් හෆීස් (නොදැවී 34) පාකිස්තානු ජයග්‍රහණයේ කොටස්කරුවෝ වූහ.
අබුඩාබිහි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 208ක් (පන්දුවාර 48.2) පමණි. තරගයේ වීරයා සම්මානය ඉමාම් උල් හක් දිනාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබි පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගය පාකිස්තානය ජයගතහොත් ඔවුන් තරග පහකින් යුත් එක්දින තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගන්නා අතර තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව තරගය ජයගැනීම අනිවාරයය වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණ වී තිබේ. ඒ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරත්, වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට කැඳවමිනි.
පාකිස්තානයත් අහමඩ් ශේෂාඩ් හා ඉමාඩ් වසීම් වෙනුවට ඉමාම් උල් හක් හා ෆාහිම් අශ්රෆ් සමග තරගයට පිවිස ඇත.