සංජීව ධර්මසේන / බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ සිට
බංග්ලාදේශය හමුවේ ලැබූ අමිහිරි පරාජය ඉදිරියේ බලාපොරොත්තු බිඳවැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අසරණ කරමින් බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන විස්සය20 ක්රිටක් තරගාවලියේ ඊයේ (01දා) පැවැති තරගාවලියේ 07 වැනි තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය කණ්ඩායමේ අවසන් මහා තරගයට පිවිසීම ස්තිර වූ අතර, සත්කාරක බංග්ලාදේශයටද අවසන් මහා තරගය කෙරෙහි බලාපොරොත්තු ඇති කළේය. යම් හෙයකින් අද (02දා) පැවැත්වෙන බංග්ලාදේශ - පාකිස්තාන තරගයෙන් බංග්ලාදේශය ජයගත හොත් ඔවුන් ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 139 ක ඉලක්කයකට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 19.2 වැනි පන්දුවාරයේදී කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ශිකර් දවාන් සමගින් රෝහිත් ශර්මා ඉන්දීය ඉනිම ඇරඹූ අතර, ඔවුන් දෙදෙනා වේලාසනම ක්‍රීඩාගාරය හරවා යවමින් බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබාගැනීමට නුවන් කුලසේකර සමත්විය. ඔවුන් දෙදෙනා දැවීයන විට ලකුණු පුවරුව 2/16 ක් (පන්දුවාර 3.2) ලෙස සටහන් විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා බලාපොරොත්තු කණපිට පෙරළු සුරේෂ් රයිනා හා විරාට් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 54 ක් එක්කර තරගය නැවතත් තරගය ඉන්දියාව දෙසට හරවා ගත්හ. මුලු ලකුණු 70 ක් වනවිට සුරේෂ් රයිනා දැවී ගියත්, ඉන් ඉන්දියාවෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර, කෝලි සමගින් එක්වූ යුවරාජ් සිං සිව්වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 51 ක සබඳතාවක් ගොඩනගා ජයග්‍රාහී ඉලක්කය පහසු කළේය.
ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය විරාට් කෝලි සිය 13 වැනි විස්සයි20 අර්ධ ශතය රැසකරමින් නොදැවී ලකුණු 56 ක් රැස්කළේය.
ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.
සාර්ථක ආරම්භයක් ලබාදීමේ නොහැකියාව මෙම තරගයේද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් ඉස්මතු වූ අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 04 ක් රැස්කරගෙන සිටියදී පිටියෙන් ඉවත්කිරීමට අශිෂ් නෙහරා සමත්විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ශෙහාන් ජයසූරියටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ නොදුන් ජස්ප්‍රීට් බුම්රාහ් ශෙහාන්ගේ ඉනිම ලකුණු 03කට සීමා කළේය. එම කඩුලු දෙකෙහිම උඩපන්දු ලාභියා දෝනි විය.
ඊයේ පුවත්පත මගින් අප සඳහන් කළ පරිදිම මෙම තරගයේදී චාමර කපුගෙදර ඉදිරිපෙළ පිතිකරුවෙකු ලෙස කැඳවා තිබූ අතර, ලබාදුන් උසස්වීමට උපරිම සාධාරණය ඉටුකළ කපුගෙදර පන්දු 32කදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිම මන්දගාමී ස්වරූපයක් ගත්තද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළම හේතුවූ එකම සාධකය කපුගෙදරගේ ඉනිම විය.
ලකුණු අතරට ඒමට උත්සහා දරමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට මෙම තරගයේද එම අභියෝගය ජයගැනීමට නොහැකි වූ අතර, ලසිත් මාලිංග ඊයේ (01දා) තරගයටද ක්‍රීඩා නොකළ බැවින් නායකත්වයේ වගකීමත් සමඟ ඉනිම ක්‍රියාත්මක කළ මැතිව්ස්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණි.
කෙසේ නමුත් මැතිව්ස්ගෙන් පසු පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන, කපුගෙදර සමගින් එක්ව 05 වැනි කඩුල්ලට ලකුණු 43 ක අත්‍යවශ්‍ය සබඳතාවක් ගොඩනැගූ අතර, ඒ සඳහා වැයකළේ පන්දු 31 ක් පමණි. එය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ගොඩනැගුණු එකම අයෝජන සබඳතාව විය. මිලින්ද සිරිවර්ධන (22) දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණි.
මෙහිදී තිසර පෙරේරා සිය ප්රහාරාත්ම ඉනිම නැවතත් ප්‍රදර්ශණය කළ අතර, ඔහු දැවැන්න හයේ පහරක් සමගින් පන්දු 06කදී ලකුණු 17 ක් දායක කළේය. ඔහුට උපරිම සහයෝගය ලබාදුන් නුවන් කුලසේකර ලකුණු 13 ක් රැස්කළ අතර, 08 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 08කදී ලකුණු 20 ක් රැස්කළේය.
මෙහිදී තිසර පෙරේරා අශ්වින්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවීගියේය. කෙසේ නමුත් තෙවැනි විනිසුරුගේ සහාය නොලබා ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකාවට අවාසියක් වූ අතර, එම දැවීයාම රූපරාමු නැවත බැලීමේදී නොදැවුණු පිතිකරුවෙකු ලෙස සටහන් විය. ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රීට් බුම්රාහ්, හාදික් පාද්‍යා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 02 බැගින් දවාලූහ. තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකාව 138/9 (පන්දුවාර 20)
දිනේෂ් චන්දිමාල් 04 (11, 4x1), තිලකරත්න ඩිල්ෂාන් 18 (16, 4x2), ශෙහාන් ජයසූරිය 03 (5), චාමර කපුගෙදර 30 (32, 4x3), ඇන්ජලෝ මැතිව්ස් 18 (19, 4x3), මිලින්ද සිරිවර්ධන 22 (17, 4x1, 6x1), දසුන් ශානක 01 (4), තිසර පෙරේරා 17 (6, 4x2, 6x1), නුවන් කුලසේකර 13 (9, 4x2), දුෂ්මන්ත චමීර නොදැවී 2 (2)
ඉන්දියාව පන්දු යැවීම
අශිෂ් නෙහරා 1/23 (4), ජස්ප්‍රීට් බුම්රාහ් 2/27 (4), හාදික් පාද්යයා 2/26 (4), රවිචන්ද්‍රන් අශ්වින් 2/26 (4)
ඉන්දියාව 142/5 (පන්දුවාර 19.2)
ශිකර් දවාන් 01 (3), රෝහිත් ශර්මා 15 (14, 4x3), විරාට් කෝලි නොදැවී 56 (47, 4x7), සුරේෂ් රයිනා 25 (26, 4x2), යුවරාජ් සිං 35 (18, 4x3, 6x3), එම්.එස්. දෝනි නොදැවී 07 (4, 6x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 2/21 (3), තිසර පෙරේරා 1/32 (4), රංගන හේරත් 1/26 (3.2), දසුන් ශානක 1/7 (1)
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද (01දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. මෙම තරගයටද ලසිත් මාලිංග ක්‍රීඩා නොකර අතර, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, පෙර තරලයට ක්‍රීඩාකළ කණ්ඩායමම ක්‍රීඩා කරයි.