ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තායිලන්තයේ පැවැති දෙවැනි අදියරේ (සිංහ තායිලන්ත) සිවුවැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (27දා) සමත්විය. ඒ තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී හොංකොං හමුවේ ලකුණු 33-07 ක් ලෙස පරාජයට පත්වීමෙනි.
බැංකොක්හි පැවැති මෙම තරගයේදී ජයග්රාහී හොංකොං ක්රීඩකයෝ ගෝල දිනුම් 04 ක් හා එක් උත්සාහක දිනුමක් සාර්ථක කරගත් අතර, ශ්රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම අනුරුද්ධ විල්වර විසින් වාර්තා කළ අතර, ශ්රීනාත් සූරියබණ්ඩාර එය සාර්ථකව ප්රවර්තනය කරන ලදී.
මෙවර තරගාවලියේ නැගී එන කණ්ඩායමක් වූ චීනය, කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 14-07 ක් ලෙස පරාජය කිරීමට ශ්රී ලංකාව සමත් විය. කෙසේ නමුත් අවසන් පූර්ව තරගයේදී ප්රබල දකුණු කොරියාව හමුවේ ලකුණු 27 -00 ක් ලෙස පරාජය වූ හෙයින් කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ශ්රී ලංකාවට අහිමි විය.
මෙම තරගාවලියේ චීනයේ පැවැති පළමු අදියරේදීද ශ්රී ලංකාවට හතරවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. මේ අතර මෙම තරගාවලියේ නොකඩවා දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට ජපානය සමත් විය. ඒ කුසලාන අවසන් තරගයේදී දකුණු කොරියාව ලකුණු 45-07 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. මෙහි තෙවැනි හා අවසන් අදියර එළඹෙන ඔක්තෝබර් 10 හා 11 යන දිනවලදී කොළඹදී පැවැත්වේ.
ශ්රී ලංකා - දකුණු කොරියා තරගය
ශ්රී ලංකා - චීන තරගය