දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට පිතිහරඹයත් හා කෝඩුකාර දසුන් ශානකගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් සත්කාරක අයර්ලන්ත කණ්ඩායම පරාජය කර බබ්ලින්හි අද (16දා) පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 75ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 304ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 32.3 ක් ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, ඒ වනවිට ඔවුහු කඩුලු 04 ක් දැවී ලකුණු 164 ක් රැස්කරගෙන සිටියහ. එම ප්‍රමාද වූ කාලය හේතුවෙන් නැවත තරගය ආරම්භ කිරීමේදී ඔවුන්ට පන්දුවාර 47කදී ලකුණු 293ක ඉලක්කයක් හිමිවූ අතර, ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි.
අයර්ලන්ත ඉනිම ජයග්‍රාහී මාවතට රැගෙන ඒමට දැඩි උත්සහායක් ගත් නායක විලියම් පොටර්ෆීල්ඩ් ආරම්භක පිතිකරු ලෙස පිවිස ලකුණු 73 ක් හා පසුපෙළ ශත්තිමක් කළ කෙවින් ඔ^බ්‍රයන් රැස්කළ වේගවත් ලකුණු 64 හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරාගත හැකි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක කඩුලු 05 ක් බිඳහෙලීමට සමත්විය. මෙය දසුන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර, පළමු එක්දින තරගයේදීම කඩුලු 05 ක් දවාලූ ලොව 12 වැනි පන්දු යවන්නා ලෙස ඔහු ක්‍රිකට් වාර්තා අතරට එක්විය.
අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 303ක් රැස්කිරීමට සමත්විය.
කුසල් ජනිත් සමගින් දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් එක්කළහ. කෙසේ නමුත් මෙම සබඳතාව ගොඩනැගීමේදී කුසල්ගේ ඉනිම පමණක් ඉස්මතුවූ අතර, එහි පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක දැවීයන විට රැස්කරගෙන සිටියේ ලකුණු 09 ක් පමණි. ඉන් අනතුරුව කුසල්ටද වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, මුළු ලකුණු 47ක් වනවිට පන්දු 38කදී ලකුණු 32 ක් රැස්කරගෙන සිටියදී ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.