සංචාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 07 ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (29දා) සමත්විය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 153 ක ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.
පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කරමින් දිමුත් කරුණාරන්න සමගින් කිත්රුවන් විතානගේ ශ්‍රී ලංකා දෙවැනි අද ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට වේගවත් ලකුණු 49ක් එක් කළහ. අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකරන කිත්රුවන්ගේ මවු ක්‍රීඩාංගණය මෙය වේ.
කෙසේ නමුත් කිත්රුවන්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාරට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණි. යසීර් ෂාගේ පන්දුවක් හමුවේ අසර් අලි වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් සංගා ඉවත්විය. ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි දිමුත් සමගින් එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 72 ක සබඳතාවක් ගොඩනගා ජයග්‍රහණය තවදුරටත් පහසු කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1-1 ක් ලෙස සමකිරීමට හැකිවිය. 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවට පී සරා ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග ජයක් හිමිවූ පළමු අවස්ථාව මෙයයි. මෙම තරගය හැර පී. සරා පිටියේ අවසන්වරට පැවැති (2009 - 2015) තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා (25දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කැපීපෙනෙන පන්දුයැවීමක නිතරවූ තරිඳු කෞෂාල් කඩුලු 05 ක් දවාළීය. සිය ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ රත්ගම දේවපතිරාජ විදුහලේ ආදි සිසුවෙකු වන 22 හැවිරිදි තරිඳුගේ දෙවැනි ටෙස්ට් තරගය මෙය වේ.
පිළිතුරු ඉනිම ක්රීඩාළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 315 ක් රැස්කිරීමට සමත්විය. ඒ අනුව ලකුණු 177 ක් පසුපසින් පාකිස්තානු කණ්ඩායම නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එවර ඔවුන් ලකුණු 329/10 ක් දක්වා ඉනිම රැගෙන යාමට සමත්විය. පාකිස්නානු දෙවැනි ඉනිම අඩපණ කළ ධම්මික ප්‍රසාද් කඩුලු 04 ක් (4/92) බිඳහෙළීමට සමත්විය.
ශ්‍රී ලංකාවේ 129 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට්වරම් දිනූ දුෂ්මන්ත චමීර තරගයේදී කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය. හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකරමින් පාකිස්තානු කණ්ඩායම කඩාවැටීම පාලනය කළ අසර් අලි ලකුණු 117 ක් රැස්කිරීමට සමත්විය. මෙය ඔහුගේ 09 වැනි ටෙස්ට් ශතකය වන අතර, ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ පස්වැනි ශතකය වේ. තරගයේ වීරයා ලෙස ධම්මික ප්‍රසාද් සම්මාන දිනාගත්තේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන ජූලි මස (3 -7) පල්ලෙකැලේදී පැවැත්වේ.
පාකිස්තානු පළමු ඉනිම 138/10 (පන්දුවාර 42.5)
මොහොමඩ් හෆීස් 42 (පන්දු 75, 4x5), අසර් අලි 26 (පන්දු 45, 4x4), යසීර් ෂා 15 (පන්දු 17, 4x1, 6x1), සෆ්රාස් අහමඩ් 14 (පන්දු 29), තරිඳු කෞෂාල් 5/42 (පන්දුවාර 10.5), ධම්මික ප්‍රසාද් 3/43 (පන්දුවාර 13), දුෂ්මන්ත චමීර 1/33 (පන්දුවාර 10)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 315/10(පන්දුවාර121.3 )
කෞෂාල් සිල්වා 80 (පන්දු 218, 4x10), ඇන්ජලෝ මැතිව්ස් 77 (පන්දු 153, 4x8), ධම්මික ප්‍රසාද් 35 (පන්දු 77, 4x4), කුමාර් සංගක්කාර 34 (පන්දු 70, 4x2), දිමුත් කරුණාරත්න 28 (පන්දු 67, 4x3), යසීර් ෂා 6/96 (පන්දුවාර 41.3), ජුනයිඩ් ඛාන් 1/89 (පන්දුවාර 29)
පාකිස්තානය දෙවැනි ඉනිම329/10 (පන්දුවාර 118.2)
අසර් අලි 117 (පන්දු 308, 4x6), අහමඩ් ශෙසාඩ් 69 (පන්දු 154, 4x1, 6x1), යුනිස් ඛාන් 40 (පන්දු 67, 4x4), අසාද් ශෆික් 27 (පන්දු 51, 4x3), මිස්බා උල් හක් 22 (පන්දු 49, 4x2), ධම්මික ප්‍රසාද් 4/92 (පන්දුවාර 29.3), දුෂ්මන්ත චමීර 3/53 (පන්දුවාර 18.5), ඇන්ජලෝ මැතිස්ව් 2/15 (පන්දුවාර 11), රංගන හේරත් 1/89 (පන්දුවාර 34)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 153/3 (පන්දුවාර 26.3)
දිමුත් කරුණාරන්න 50 (පන්දු 57, 4x4), ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 43 (පන්දු 57, 4x4), කිත්රුවන් විතානගේ 34 (පන්දු 23, 4x4, 6x2), ළහිරු තිරිමාන්න නොදැවී 20 (පන්දු 21, 4x2), යසීර් ෂා 2/55 (පන්දුවාර 10.3), සුල්ෆිකර් බාබර් 1/42 (පන්දුවාර 8)
ඡායාරූප - ශාන්ත රත්නායක