රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළේ මීටර 100 පසුපස ආර පිහිනුම් කාන්තා ඉසව්ව නියෝජනය කළ ශ්රී ලංකාවේ කිමිකෝ රහීම්ට සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ඊයේ (07දා) සිදුවිය.
තරගය අවසන් කිරීම සඳහා කිමිකෝ විනාඩි 1.04.21ක කාලයක් ගතකළ අතර, එය එම තරග ඉසව්ව (5 Heats) සඳහා සහභාගි වූ ක්රීඩාවන් 34 දෙනා අතරින් 28 වැනි ස්ථානය විය.
මීටර 100 පිහිනුම් පසුපස ආර ඉසව්වේ වත්මන් ශ්රී ලංකා වාර්තාවට හිමිකම් කියන 17 හැවිරිදි කිමිකෝ, මෙම වසරේ ඉකුත් පෙබරවාරි මස පැවැති දකුණු ආසියානු ක්රීඩා උලෙළේදී මෙම ඉසව්වේ රන් පදක්කම ශ්රී ලංකාවට දිනාදීමට සමත්වූ අතර, එහිදී තත්. 1.03.78ක කාලයක් වාර්තා කළාය. කෙසේ නමුත් සිය පෞද්ගලික දක්ෂතාව අබිබවා යාමට මෙම තරගයේදී ඇයට නොහැකි විය. රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළේ දෙවැනි දිනය වූ ඊයේ (07) ශ්රී ලංකාවෙන් සහභාගිවූ එකම නියෝජනය ඇය විය.
මේ අතර ජූඩෝ කිලෝ ග්රෑම් 73 බර පන්තිය නියෝජනය කරන චාමර ධර්මවර්ධන අද (08දා) තරග වැදීමට නියමිතව ඇත. තරගය ශ්රී ලංකා වේලාවෙන් ප.ව. 7.05ට පැවැත්වේ. අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී චාමර, ඇමෙරිකන් සැමෝවාහි බෙන්ජමින් වොටහවුස් සමගින් තරග වැදීමට නියමිතව ඇත. චාමර ඉකුත් පෙබරවාරි මස පැවැති දකුණු ආසියානු ක්රීඩා උලෙළේ මෙම බර පන්තියේ රිදී පදක්කම ශ්රී ලංකාවට දිනාදීමට සමත් විය.