සංචාරක ඔස්ටේලියානු කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු ලකුණු 355 කට සීමා විය. දිවා ආහාරයෙන් අනතුරුව නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ශ්‍රීලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 132 කට දැවී ගිය අතර ඔහු දැවී ගියේ මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක පිල් නෙවිල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. කෙසේ නමුත් චන්දිමාල් සමගින් අටවැනි කඩුල්ල සඳහා ලකුණු 73 ක නොබිඳුනු සබඳතාවක් පවත්වමින් සිටි රංගන හේරත් පන්දුව වැදීමෙන් සිදුවූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි සුරංග ලක්මාල්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මිචෙල් ස්ටාක් ඉඩ ලබා නොදුන් අතර ඔහු ලකුණු 5 කට දැවී ගියේ මිචෙල් මාෂ් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය.
මෙම තරගයේදීද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කඩුළු 5 ක් දවා ගත් අතර නේදන් ලයන් කඩුළු 3 ක් හා ජෝන් හොලන්ඩ් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීය.
කෙසේ නමුත් මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයක් පිළීඹිබු වන අතර අද තරගයේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අතින් දිනේෂ් චන්දිමාල්ගේ පහසු උඩ පන්දු ද්විත්වයක් ගිලිහී යාම ඉන් ප්‍රධාන විය.
කෙසේ නමුත් තේ පානය සඳහා තරගය නතර කරන විටදී ඔස්ට්‍රේලායානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙසින් ඩේවිඩ් වෝනර් ලකුණු 11 කට දැවී ගියේය. දෙවැනි ටෙස්ට් තරගයේදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දි්ල්රුවන් පෙරේරා එම කඩුල්ලේ හිමිකරුවා විය.