ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා හා ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් (සෙප්) බ්ලැටර් මහතා අතර හමුවක් ඊයේ (22දා) සහ පෙරේදා (21දා) දෙදින තුළදී ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී පැවැත්වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නංවාලීම උදෙසා ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සාකච්ඡා පැවැත්වූ බවද එම නිවේදනයේ දැක්වෙයි.
ජගත් පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නංවාලීම සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ, ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය බ්ලැටර් මහතා වෙත කරුණු පැහැදිලි කිරීම් කර ඇත. කෙසේ නමුත් ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර හා ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ සඳහනක් එම නිවේදනයේ ඇතුලත්ව නැත.
මෙම සාකච්ඡාවට ෆිෆාහි කමිටු සාමාජිකයන්ගේ සම්මේලනයේ හා සංවර්ධන ප්‍රධානී තියෙරි රෙජිනාස් මහතාද සහභාගි වී ඇති අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුර ද සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාද සහභාගී වී ඇත.
.jpg)