සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24දා) පැවැත්වේ. පසුගිය ඉරිදා (20දා) දඹුල්ලේ පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකරගත් ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයට පත්වීම දරාගන්නට නොහැකි වූ ක්‍රිකට් ලෝලීන් පිරිසක් දඹුල්ලේ පැවැති පළමු තරගයෙන් අනතුරුව විරෝධතාවක නියැළෙන්නට විණි. රටක් ලෙස, කණ්ඩායමක් ලෙස ජයග්‍රහණ බලාපොරොත්තුවන ක්‍රීඩාලෝලීන් තම බලාපොරොත්තු බිඳ වැටෙන විට සිය නොසතුට පළකළ අයුරු එය වුවද, එය ජාත්‍යන්තරය හමුවේ මෙරට ක්‍රිකට් ලෝලීන්ට හිමිව තිබූ කීර්තිනාමයට කරගත් බරපතළ හානියකි.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක ළඟ විශ්‍රාම ගැනීමත්, දැනට කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වියපත්වීමත් හේතුවෙන් මෙවැනි ප්‍රතිඵලයක් අත්විය හැක. තවද නිවැරදි සැලැස්මක් නොතිබූ බැවින් එවැනි ප්‍රතිඵලයක් ලියවී තිබුණි. අතීතයේ සිටම තවමත් අප රට තුළ නිවැරදි ක්‍රිකට් සැලැස්මක් නොමැත.
මේ අවස්ථාව වනවිටත් එවැනි සැලැස්මක් සකස් කරගැනීමේ කතිකාවතක්වත් දක්නට නොමැත. එවන් පසුබිමක් තුළ පරාජයන් මිස අන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව, රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින යථාර්ථය නොවන්නේද.
එහෙයින් ක්‍රීඩකයන්ට එරෙහිව උද්ඝෝෂණ කිරීම නොව, ඔවුන්ට ශක්තියක් වීමට හැකිනම් එය මේ මොහොතේ අප කාගේත්, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ගේ වගකීම විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. මන්ද මේ තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔබගේ සහාය අවශ්‍ය කරන මොහොතයි.
මෙම පරාජයන්ට ක්‍රීඩකයන් පමණක් වගකිව යුතු නොවූවද, තරගයක් ලබාදීමටවත් වර්තමාන කණ්ඩායම උත්සාහ කළ යුතුය. විශේෂයෙන්ම එක්දින තරගයකදී අවසන් පන්දුවාරය තෙක්වත් තරගය පවත්වාගෙන යෑමට අපේ ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය.
පන්දුවාර 21ක් ඉතිරිව තිබියදී තරගයක් අවසන්වීම දරුණු පරාජයකි. ලකුණු 300 සීමාව පසුකර, අවසන් පන්දුවාරය තෙක් තරගය පවත්වා ගෙන යමින් තරගයක් පරාජය වුවද, එය සෑහීමකට පත්විය හැකි තත්ත්වයකි. එහෙත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කරන දක්ෂතා ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැක.
අද පැවැත්වෙන දෙවැනි තරගයේදී බොහෝ දුරට කපුගෙදරට මෙන්ම තිසර පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමිවිය හැක. කපුගෙදර පන්දුවට පහරදුන් අවසන් ඉනිම් 10 තුළදී (1, 0, 10, 12, 8, 9, 62, 0, 7, 1) වාර්තා කර ඇත්තේ ලකුණු 110ක් පමණි. ඔහුට ඇති තරම් අවස්ථාව ලබාදුන්නද, ඉන් ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත්වීම ඔහුගේ ගැටලුවකි. එහෙයින් අද තරගයේදී කපුගෙදර වෙනුවට මිලින්ද සිරිවර්ධන අවසන් 11 දෙනා අතරට ඇතුළත්වීමට වැඩි අවස්ථාවක් පවතී.
තිසර පෙරේරාද පිතිකරුවෙකු ලෙසින් අවසන් ඉනිම් 10දී (0, 1, 52, 9, 55, 13, 9, 12, 21, 15) රැස්කර ඇත්තේ ලකුණු 187ක් පමණි. පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් පන්දුවට පහරදීමට පැමිණියද, පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමට දැනෙන යමක් සිදුකිරීමට තිසරද අසමත්ව ඇත.
තවද පන්දු යවන්නෙකු ලෙසින්ද තිසර මුහුණදුන් අවසන් එක්දින තරග 10දී දවාගෙන ඇත්තේ (0, 1, 1, 0, 0, 0, 0, 3, 1, 0, 1) කඩුලු 07ක් පමණි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වුවද, තිසර අසාර්ථක බව මින් පැහැදිලිවේ. එබැවින් ඔහු වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු ආදේශ කළ යුතු යැයි අප විශ්වාස කරන්නෙමු.
එපමණක් නොව එසේ ආදේශ කරනු ලබන තරුණ ක්‍රීඩකයන්ට කපුගෙදරලාට, තිසරලාට මෙන් සැලකිය යුතු අවස්ථාවන් ලබාදිය යුතු යැයිද අප විශ්වාස කරන්නෙමු. එසේ නොවන්නට ඔවුන්ගේ දක්ෂතා දැකබලා ගන්නට අවස්ථාවක් නොලැබේ.
තරගය අද (24දා) - ප.ව. 2.30 ආරම්භ වේ.