ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. ඉන්දීය කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ රූපවාහිනී විකාශන හිමිකම අලෙවි කිරීම සම්බන්ධ සිදුවීමක් මෙම අතුරු කමිටුව පත්කිරීමේ සැලසුම පසුපස තිබෙන බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී විකාශන අයිතිය ටෙන්ඩර් පටිපාටියක් හරහා අලෙවිකර තිබෙන අතර එයට ඉන්දීය සංචාරය අැතුළත් නොවේ. මන්දයත් එය හදිසියේ යෙදුණු තරගාවලියක් වන හෙයිනි.
ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය නියමිත ක්‍රමවේදයක් යටතේ අලෙවි කළ යුතු වෙයි. ඡන්දයෙන් පත්වූ නිලධාරී මණ්ඩලයක් සිටීමේදී එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් කළ යුතු අතර, අතුරු පාලක කමිටුවක් පැවතියහොත් විකාශන අයිතිය හිතුමනාපේ තමන්ට අවශ්‍ය පාර්ශ්වයකට පැවැරීමේ අවස්ථාව හිමිවෙන බව තතු දත්තෝ පවසති. එම විශාල ගනුදෙනුව 'අතයට ගනුදෙනුවක්' ලෙස සිදුවීමට ඉඩ තිබීම අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනය රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර පසුගිය වසරේ ගිණුම් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න නොකර තිබෙන තත්ත්වයකදී අතුරු පාලක කමිටුවක් පත් කිරීමට අත්‍යවශ්‍යතාවක් නැතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි. එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති අනුව අතුරු කමිටුවක් පැවැත්විය හැක්කේ කෙටි කාලයකට පමණකි. එය දිගු කාලසීමාවක් සඳහා පත්කළ නොහැක. අනෙක් අතින් යහපාලනය යටතේද අතුරු කමිටු ප්‍රතික්ෂේප කළේය. මෙවැනි තත්ත්වයක් තිබියදී අතුරු කමිටුවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි විධායක කමිටු සාමාජිකයන්ගේ බහුතර මතය වී තිබෙන බව සඳහන් වෙයි.
අතුරු කමිටුවක් පත්කිරීමට නිශ්චිත හේතුවක් තිබිය යුතු නමුත් ඉතාමත් හදිසියේ අතුරු කමිටුවක් පත්කිරීමට හේතු වූ කාරණා ක්‍රිකට් ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේද මවිතයට හේතු වී තිබෙන බවද කියැවෙයි. ක්‍රිකට් ආයතනයේ නිලවරණය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් දැනුවත් කර තිබෙන අතර, නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම එළඹෙන 30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

