සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (13දා) ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. පසුගියදා අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදීද දැනෙන යමක් කරනු ඇතැයි සියලු දෙනාගේම අපේක්ෂාවයි. එහෙත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයගත් පමණින් එක්දින තරගාවලියද ජයගත හැකිය යන්න සිතීම නුවණට හුරු නැත. ඒ ටෙස්ට් තරග රටාවට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි පසුබෑමක් ඇත්තේ එක්දින තරග රටාවේ බැවිනි.
එක්දින තරගාවලිය ජය ගැනීම කෙසේ වෙතත් මෙම තරගාවලියේදී අවම වශයෙන් තරග 2ක් හෝ ජයගන්නට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ධනයක් පෙන්නුම් කරන තත්ත්වයකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සැබෑ පරීක්ෂණය ආරම්භ වන්නේ අදින් ඇරැඹෙන එක්දින තරගාවලියේදීය. එහෙයින් තරගාවලි ජයක් අපේක්ෂා නොකර අවම වශයෙන් තරග 2ක ජයග්‍රහණ අපේක්ෂා කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ශක්තියක් වීම සියලු දෙනාගේම වගකීමයි.
ටෙස්ට් තරග බිමේදී පාකිස්තානුවන් ඉදිරිපත් කරන දක්ෂතාවන්ට සාපේක්ෂව එක්දින තරග බිමේදී ඉදිරිපත් කරන දක්ෂතා වැඩිය. ශූරයන්ගේ එක්දින කුසලානය ජයගත් පාකිස්තානුවන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට අවතීර්ණ වන්නේ ටෙස්ට් කණ්ඩායමට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කණ්ඩායමක් ලෙසිනි. එහෙයින් මොහොමඩ් හෆීස්, සොයිබ් මලික්, අහමඩ් ෂේසාද්, හසන් අලී, ෆක්මන් සාමන් ප්රමුඛ පාකිස්තානු එක්දින කණ්ඩායමේ දක්ෂතා පාකිස්තානු ටෙස්ට් කණ්ඩායමට සාපේක්ෂව ඉහළය. එබැවින් අදින් ඇරැඹෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ලවිය හැකිය.
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකළ උපුල් තරංග, චාමර කපුගෙදර, මිලින්ද සිර්වර්ධන, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ඔවුන් අතරින් එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග සමගින් චාමර කපුගෙදර, මිලින්ද සිර්වර්ධන සහ තිසර පෙරේරා අද තරගයේදී අවසන් 11 දෙනා අතරට ඇතුළු වනු ඇතැයි විශ්වාස කළ හැකිය. උපුල් මේ පසුකරමින් සිටින්නේ තීරණාත්මක කාලවකවානුවකි. ඒ නියමිත කාලය තුළ පන්දුවාර 50 යැවීමට නැවත වරක් අපොහොසත් වුවහොත් ඔහුට වසරක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවන බැවිනි. එහෙයින් තම පන්දු යවන්නන්ගේ සහ ක්‍රීඩකයන්ගේ සහාය ඇතිව පන්දුවාර 50 නියමිත කාලයේදී යවා අවසන් කිරීමට වගබලා ගත යුතුය. තවද ඒ සඳහා තම නායකයාට සහාය දැක්වීම ද ක්‍රීඩකයන්ගේද වගකීමයි.
පාකිස්තානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියේදී ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාකළ තිසර පෙරේරා දැක්වූ දක්ෂතා ඔහුට නැවත වරක් එක්දින කණ්ඩායම සමගින් එක්වීමට අවස්ථාව උදාකරදී ඇත. මෙය ඔහුට ලැබෙන අවසන් අවස්ථාව විය හැක. මන්ද එම තරගාවලිය හැරෙන්නට තිසර දීර්ඝ කාලයක් දක්ෂතා අතර නොමැති බැවිනි. අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු අවශ්‍ය යැයි සඳහන් කරමින් දිගින් දිගටම අසාර්ථක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කරන විනාශයක් බැවින් මෙම තරග සංචාරය තිසරට ලැබෙන අවසන් අවස්ථාව විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් මෙම තරගාවලිය තිසරට ඉතා තීරණාත්මක තරගාවලියක් බැවින් තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින්නටනම් ඔහුට අනිවාර්යයෙන්ම දක්ෂතා දැක්වීමට සිදුවේ. තවද චාමර කපුගෙදරටද මෙම තරගාවලිය ඉතා තීරණාත්මකය.
පසුගියදා අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම සිදුවූයේ තෙවැනි දිනයේ අවසන් සැසියේදීය. ඒ නව පන්දුවේ පැහැය සමගින් පාකිස්තානු වේග පන්දු යවන්නන්ගේ දෝලනය වූ පන්දු පාලනය කරගැනීමට නොහැකිවීමත් සහ යශීර් ෂාහ්ගේ වේගය සමගින් දඟ කැවෙන පන්දුව පාලනය කරගැනීමට නොහැකි වීමත් හේතුවෙනි. එබැවින් අද පැවැත්වෙන තරගයද ඩුබායි පිටියේ පැවැත්වෙන බැවින් කාසියේ වාසිය හිමිකර ගතහොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම නුවණට හුරුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවන පීඩනය වැඩිවනවා මිසක අඩුවන්නේ නැත. තවද සන්ධ්‍යා සමයේදී අකිල ධනංජයගේ දඟ කැවෙන පන්දුව පාකිස්තානුවන්ට පීඩනයක් එල්ල කරන බැවින් ඔහුගෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නට කාසියේ වාසිය හිමිකරගතහොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම ප්‍රතිඵල දායකයැයි අපි විශ්වාස කරන්නෙමු.
තරගය මෙරට වේලාවෙන් ප.ව 4.30ට ඇරැඹේ.
ශ්‍රී ලංකා කණ්ඩායම - උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ
පාකිස්තානු කණ්ඩායම - අහමඩ් ෂේශාඩ්, ෆක්හර් සාමන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, සොයිබ් මලික්, සෆ්රාස් අහමඩ් (නායක), ඉමාඩ් වසිම්, ෂාදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, හසන් අලි, මොහොමඩ් අමීර්, රුම්මන් රයීස්, ජුනයිඩ් ඛාන්, හැරිස් සොහේල්, ඉමාම් උල් හක්