මැතිව්ස් පිතිකරුවෙකු ලෙස පමණි?
අාබාධයක් හේතුවෙන් කපුෙගදර තරගාවලියෙන් ඉවතට?
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය (අයි.සී.සී.) සංවිධානය කරනු ලබන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (08දා) පැවැත්වේ. ඒ ඉන්දීය කණ්ඩායම සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී ද.අප්‍රිකාව හමුවේ ලකුණු 96ක පරාජයක් හිමිවිය. එහෙයින් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගන්නට නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ සිට සියලුම තරග ජයගන්නට සිදුවේ.
පළමු තරගයට ක්‍රීඩා නොකළ නායක ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට ක්‍රීඩා කරන බව මේ වනවිටත් නිවේදනය කර අවසන්. එහෙත් ඔහු අද තරගයට එක් වන්නේ පිතිකරුවෙකු ලෙස පමණි. ඉන් හැඟී යන්නේ මැතිව්ස්ගේ අාබාධය තවමත් 100%ක් සුවවී නොමැති බවයි. එවැනි තත්ත්වයක් යටතේ මැතිව්ස් කණ්ඩායමේ නායකයා ලෙස ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීම ගැටලු සහගතය.
යම් හෙයකින් උපුල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත්, එම තරගයට ක්‍රීඩා කරන්නට මැතිව්ස් අපේක්ෂාවෙන් සිටින්නට ඇත. එවැනි නායකයෙකුගේ ඇති අවශ්‍යතාව කුමක්ද?. අයි.පී.එල්. තරගාවලියේදී පන්දු යැවිය හැකි මැතිව්ස්ට ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පන්දු යවන්නට නොහැකිය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලී ජනතාවට කරුණු දැක්විය යුතු යැයි අපගේ විශ්වාසයයි. එය හරියට මැතිව්ස් නොමැතිව වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැකි බව හඟවන්නක් වැනිය. ඕනෑම ක්‍රීඩකයෙකු අාබාධයට ලක්විය හැකි බැවින්, සෙසු ක්‍රීඩකයන්ටද මෙවැනිම අවස්ථා ලබාදෙන්නේදැයි අපි බලා සිටින්නෙමු.
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාවේ යම් අඩුවක් තිබූ බව පෙනෙන්නට තිබුණි. එහෙයින් අද තරගයේදී ශ්‍රී ලංකාව සමබර කරගැනීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම තිසර පෙරේරාට අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුය.
පළමු තරගයේ නායකයා ලෙසින් කටයුතු කළ උපුල් තරංග තරග තහනමකට ලක්ව සිටින බැවින් අද තරගයට ක්‍රීඩා නොකරයි. උපුල් නොමැති බැවින් නිරෝෂන් දික්වැල්ල සමගින් ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතී.ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට ඇතුළත් වනුයේ චාමර කපුගෙදර ආබාධයකට ලක්ව ඇති හෙයිනි. බොහෝ විට කපුගෙදරට මෙම තරගාවලියේ ඉතිරි තරගද අහිමිවිය හැකි බව ලන්ඩන් නුවරින් වාර්තා වෙයි. එහෙත් ආරම්භක පිතිකරු භූමිකාව සපුරාලීමට කුසල් ජනිත්වද යොදාගත හැකිය.
පන්දුවාර විස්සයි20 තරග රටාව ලොවට හඳුන්වාදීමත් සමහ, වර්තමාන එක්දින තරග රටාව හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුනහොත් ඕනෑම කණ්ඩායමකට තරගයක් ලබාදෙන්නට නම් අවම වශයෙන් ලකුණු 300යේ සීමාවවත් පසුකර යා යුතුය. එසේ නොමැතිව දෙවැනිවරට පන්දුවට පහර දෙන්නේ නම් ලකුණු 300 ඉලක්කයක් පසුපස හඹා යෑමේ හැකියාවක් තිබිය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවිය යුතුය.
පළමු තරගයේදී ලකුණු අතරට පිවිසි නිරෝෂන් දික්වැල්ල අද තරගයේදීද හොඳ ආරම්භයක් ලබාගතහොත් එය ඉනිම දීර්ඝ ඉනිමක් බවට පරිවර්තනය කරගැනීමට උත්සාහ කළ යුතුය. මන්ද එය ඔහුට මෙන්ම කණ්ඩායමටද එක සේ වැදගත් වන බැවිනි.
රෝහිත් ශර්මා, ශිකර් දවාන්, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි සහ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ප්රමුඛ ඉන්දීය පිතිකරු සංයුතිය ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් එල්ල කළ හැකි සංයුතියකි. ඔවුන් අතරින් විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ වැඩි දක්ෂතා දක්වන පිතිකරුවන් යුගලයකි. එමෙන්ම රෝහිත් ශර්මාද ඉනිම් කිහිපයකදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුනුවිසුණු කළ පිතිකරුවෙකි. මොවුන් පාලනය කරගැනීමට මැතිව්ස්ට සැලැස්මක් ඇතැයි අපගේ විශ්වාසයයි.
ඉන්දීය පන්දු යවන්නන් අතරින් අද තරගයේදී බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නිසැකය. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මේ වනවිට කඩුලු අතර සිටින පන්දු යවන්නා උමේෂ් යාදව්‍ය.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (08දා) ප.ව. 3.00ට ආරම්භ වේ.