ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරාජය කර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25දා) අවසන් වූ පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 165ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් යුත් නිල නොවන එක්දින තරගාවලිය, තරග 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්විය.
මෙම තරගය ඊයේ (24දා) ආරම්භ වූ අතර, වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එය අද දිනයේ නැවත පැවැත්වීමට තරග තීරකවරයා කටයුතු කළේය. එදින තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 12.5ක් අවසනදී කඩුලු 02ක් දැවී ලකුණු 69ක් රැස්කරගෙන සිටි අතර, ඔවුහු ඊයේ දිනයේදී කඩුලු 06ක් දැවී ලකුණු 267ක් රැස්කිරීමට සමත්වූහ.
ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකරු කේල් හොප් (81), ජේසන් මොහොමඩ් (58) හා රෝවන් පවෙල් (55) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. ශ්‍රී ලංකා 'ඒ' වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු හා අමිල අපොන්සු කඩුලු දෙක බැගින් දවාලූහ.
ලකුණු 268ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා 'ඒ' පිතිකරුවන්ට පන්දුවාර 32.3ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ ශෙහාන් ජයසූරිය ලකුණු 24ක් රැස්කළේය. කොදෙව් ජයග්‍රහණය පහසු කළ ජෝන්-රුස් ජග්සර් කඩුලු 04ක් දවාලමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
කොදෙව් 'ඒ' 267/6 (පන්දුවාර 50)
කේල් හෝප් 81 (112, 4x8), ජේසන් මොහොමඩ් 58 (71, 4x5), රෝවන් පවෙල් 55 (35, 4x3, 6x3), අන්ඩ්‍රි ෆ්ලෙචර් 26 (59, 4x2), බිනුර ප්‍රනාන්දු 2/45 (7), අමිල අපොන්සු 2/44 (10), කසුන් රජිත 1/54 (7), මිලින්ද සිරිවර්ධන 1/47 (10)
ශ්‍රී ලංකා 'ඒ' 102/10 (පන්දුවාර 32.3)
ශෙහාන් ජයසූරිය 24 (49, 4x1, 6x1), ධනුෂ්ක ගුණතිලක 20 (15, 4x4), චරිත් අසලංක 17 (41, 4x2), මිනෝද් භානුක 15 (22, 4x3), දසුන් ශානක 10 (23, 4x1), ජොන්-රුස් ජග්සර් 4/29 (10), රොන්ස්ෆෝඩ් බීටන් 3/26 (6.3), ඩිලොන් ජොන්සන් 2/19 (4)