නිමාව දුටු ශ්‍රී ලංකා - ඉන්දීය දෙවැනි ටෙස්ට් තරගය තුළදී ක්‍රීඩාංගණ සේවකයන්ට (Ground Staff) ක්‍රීඩකයන්ගේ පවුල්වල ඥාතීන්දට හා ප්‍රභූන් (VIP) සඳහා ආහාර සැපයීමේදී පිළුණු වූ ආහාර ලබාදුන්නේ යැයි ඔවුන් ක්‍රීඩාංගණ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි 'අද' ට අනාවරණය වේ.
මේ සම්බන්ධව දින 04ක් ක්‍රීඩාංගණ බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ක්‍රීඩාංගණ බලධාරීන් හෝ ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීන්ගෙන් ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැත.
එහිදී පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඈෂ්ලි ද සිල්වා මහතාටද එමෙන්ම, පරිපාලන කළමනාකරු (Admin Manager) අසන්ත දසනායක මහතාටද පසුව තරගාවලි සංවිධාන කමිටු කළමනාකරු (Tour Organization Committee Manager) ට්‍රෙවිස් ප්‍රනාන්දු යන පුද්ගලයන්ට මේ සම්බන්ධව පැමිණිලි කළද ඔවුන් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත්ව ඇතැයි අනාවරණය වේ.
විශේෂයෙන් ක්‍රීඩාංගණ සේවකයන් ගෙන් හා ක්‍රීඩකයන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් අදාළ පිළුණු වූ ආහාර සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම ප්‍රධානියා කටයුතු කර ඇතත් අදිසි හස්තයක් ක්‍රියාත්මකවීමෙන් එම ක්‍රියාමාර්ග ව්‍යර්ථව ඇතැයි වාර්තාවේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශයට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ හිතවතෙක්ට මෙම ආහාර ඇණවුම් ලබාදීම හේතුවෙන් යැයි තතුදත් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මෙම ආහාර ටෙන්ඩරය කිසිදු ටෙන්ටඩර් විමසීමකින් තොරව අදාළ හිතවතාට ලබාදී ඇති අතර පිළුණු ආහාර ලබාදීම පිළිබඳවත් අඩුම තරමින් අවවාද කිරීමටවත් බලධාරීන් කටයුතු කර නැතැයි හෙළිවේ.
අප මේ සම්බන්ධයෙන් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ (SSC) ක්‍රීඩාංගණ කළමනාකරු (SSC Venue Manager) සී.බී.එස්. පෙරේරා මහතාගෙන් විමසා සිටි අතර ඔහු පළමුව පවසා සිටියේ, එවැනි පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි. පසුව ඔහු යළිත් අප අමතා එවැනි ගැටලුවක් නොතිබූ බව පවසා සිටියේය.
මෙම ආහාර ටෙන්ඩරය සඳහා ආහාර ඇණවුම් 320ක් පමණ එක වේලකට ඇතුළත්ව ඇති අතර එහි එක් ඇණවුමක් රු. 220ක් පමණ වන බවද හෙළිවේ. එවැනි ආහාරවේල් 03ක් එක් දවසකට ලබාදෙන අතර දින 04ක් එම ආහාර වේල් 03 බැගින් අදාළ හිතවත් සමාගමෙන් ලබාදී තිබුණි.
මෙහිදී පැනනගින බරපතළම ගැටලුව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට පවා පිළුණු ආහාර ලබාදුන්නේ යැයි ඇතිවන අපකීර්තියයි. මින් ඉදිරියට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අදිසි හස්තවලට හසුනොවී නිසි පරිදි මෙවැනි වැඩකටයුතු රාජකාරි මට්ටමින් හා වෘත්තීය මට්ටමින් සිදුකරන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයටද හිතකර වනු ඇත.