වින්ග්-චුන් (wing-chun) ලෙස හැඳින්වෙන සටන් කලාව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ සටන් කලාවක් ලෙස හැඳින්විය හැක. 2010 වර්ෂයේදී 'ඉප්-මාන්' චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගම මේ සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනා අතර කථාබහට ලක්විය.
වර්තමානයේදී මෙම සටන් කලාව විවිධ වෙනස්කම් යටතේ විවිධ ගුරුකුලවලට බෙදීයාමක්ද දක්නට ලැබිණ. අද අප කථාබහට මාතෘකා වන පුද්ගලයා වන්නේ wing- chun සටන් කලාවේ එක් ගුරුකුලයක් වන වින්ග්- චුන් (wing-tsjun) සටන් කලාවේ ලොව වත්මන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා වන ජර්මන් ජාතික Thommy Luke Boehlig යි. පසුගියදා ඔහු සටන් පාඨමාලාවක් සඳහා ලංකාවට පැමිණිය් වින්ග් චුන් ඉන්ටර්නැෂනල්(ඩබ්.ටී.අයි.)ශ්‍රී ලංකා සංවිධානයේ ජාතික අධ්යක්ෂ සීෆු-ප්‍රමීල් නවීන්ද්‍ර ඇතුළු පිරිසගේ කැපවීම මතය.එහිදී ‘’අද’ පුවත්පත සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් පහත ලිපිය සැකසේ.
වින්ග්-චුන් පිළිබඳ
ලෝකයේ වින්ග්-චුන් සටන් කලාවන් රාශියක් තිබෙනවා. මේ සෑම සටන් කලාවක්ම ලෝකයාට හඳුන්වා දීමට මුල් වූ මුල් සටන් කලාවේ නිර්මාතෘවරිය වූයේ නුග් මුයි (Ng-mui) නමැති භික්ෂුණීන් වහන්සේ. නමුත් ඉන් අනතුරුව මෙය ලෝකයාට හඳුන්වා දීමට දායක වුණේ ඉප් මාන් (Ip-Man/Yip-Man) නම් සටන් ගුරුවරයායි. කෙසේ වෙතත් ඉප් මාන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ ශිෂ්‍ය ප්‍රජාවක් පැමිණියා. ඔවුන් ලෝකයේ විවිධ තැන්වලින් ඇවිත් මේ සටන් කලාව විවිධ ආකාරයට පුහුණු කරනු ලැබුවා. සමහරු සැබෑ සටන් කලාවත් උගන්නද්දී තවත් පිරිසක් මෙහි වෙනස්කම් රාශියක් සිදුකරමින් ඉගැන්වීමට පටන් ගත්තා.
ප්‍රධාන වින්ග්-චුන් (Wing-Chun)ක්‍රීඩාවෙන් වින්ග් චුන්(Wing-tsjun)වෙනස් වීම
අපේ සටන් කලාවත් ඒ ආකාරයට වෙනස් වූ කලාවක්. මෙහිදී සාම්ප්‍රදායික සටන් කලාවෙන් ඔබ්බට ගිහින් විවිධ සංශෝධන කරල තමයි මේ සටන් කලාව නිර්මාණය කර තිබෙන්නේ. මූලික වින්ග්-චුන් සටන් කලාවේ හරය අපි මෙහිදී භාවිත කර තිබෙනවා. මෙහිදී අපි භූමි සටන් (GROUND FIGHTING) තත්ත්වය එකතු කරල තවදුරටත් දියුණු කර තිබෙනවා.
ඉප්මාන්ගේ අවසාන සිසුවා වූයේ ග්‍රෑන්ඩ් මාස්ටර් ලීයුන්ග් ටින් (Leung-ting) නම් අයෙක්. පසු කාලෙදී ඉප් මාන් වයසට යාම නිසා දුර්වල වීම හේතුවෙන් ඔහු ඉගැන්වූ මෙම සටන් කලාව ඉදිරියට ගෙන ගියේ මොහුයි. ඔහු තමයි මෙම නව සටන් කලාවේ නිර්මාතෘ වූයේ. ඇත්තටම ඔහු මගේ පියාගේ පියාගේ ගුරුවරයෙක්. (සිගොන්).
මගේ සටන් කලාව සඳහා ආගමනය
මම වයස අවුරුදු 4 දී ජූඩෝ ක්‍රීඩාවෙන් තමයි සටන් කලාව පටන් ගත්තේ. ඊට පස්සෙ වයස 11 දී මම කරාතේ ක්‍රීඩාවට පැමිණියා. එයට ප්‍රධානතම හේතුව වූයේ මම බෘස්ලීගේ චිත්‍රපට බැලීමේ පිස්සුවකින් පෙළුණා. එම චිත්‍රපටවල ඔහු වැඩිපුරම භාවිතා කළෙ කරාතේ නිසා මම ඒ ක්‍රීඩාවට ආවා.
ඉන්පසුව සටන් කලා ඉගෙනීමේ ආසාව නිසාම මම මෝයි-තායි සටන් කලාව ඉගෙනීමට යොමු වුණා. ඉන් අනතුරුව වයස 15 දී පමණ වින්ග්-චුන් සටන් කලාවට මම ආවේ මිතුරෙකුගේ මාර්ගයෙන්. වින්ග්-චුන් පාසලක පෝස්ටරයක් දැකලා. ඇත්තටම එහිදී තමයි මම බෘස්ලීගේ සැබෑ සටන් කිරීමේ ශෛලිය හඳුනා ගත්තේ. ඒ මීට වසර 25 කට පෙරයි.
ඉන් අනතුරුව මම 1996 දී වින්ග් චුන් සටන් කලාව ඉගැන්වීම ආරම්භ කළා. එයින් පසු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙකු ලෙස මට 2000 වර්ෂයේදී ස්කොට්ලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ රාජකාරි කළා. මගේම කියල සංවිධානයක් මම ආරම්භ කරන්නේ 2005 වර්ෂයේදී ‘%වින්ග් චුන් ඉන්ටර්නැෂනල්’(wing-tsjun International) නමින්. ඒ ඇලන් ෆාම් නමැති තවත් ගුරුවරයෙකු සමගින්. වර්තමානයේදී එහි රටවල් 14 ක සටන් කලා පාසල් 62 ක් තිබෙනවා. එම සංවිධානය මගින් අපි විවිධ පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීම වැනි කාරණා සිදු කරනවා.
Wing-Tsjun සටන් කලාවේ ස්වාභාවය
ඕනෑම කෙනෙකුට මෙය සුදුසුයි. මොකද මෙහිදී ආබාධයන් අඩු ප්‍රමාණයයි සිදු වෙන්නේ. ඇත්තටම විවිධ වයස්වල ක්‍රීඩකයන් ආබාධවලට ලක්වූවන් පවා වින්ග්-චුන් පුහුණුවීමේ යෙදෙනවා. විශේෂයෙන් රෝද පුටුවල සිටින්නන් පවා මෙහි පුහුණු වීමෙහි යෙදෙනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.
මොකද අපේ සටන් කලාවේ වඩා උස පාපහරවල්, ආයාසයෙන් එල්ල කළ යුතු පහරවල් කිසිවක් නෑ හෝ පැනීම් කිසිවක් නෑ. පාපහරවල් තිබුණත් උකුලෙන් පහලට එල්ල කරන පහරවල් තමයි තිබෙන්නා.ඊට හේතුව දිගු විශාල පාපහරවල් එල්ල කිරීම මගින් සතුරා මෙල්ල කිරීමට වැඩි වේලාවක් ගත වෙනවා. අනිත් කාරණය සටන් කිරීමට තරම් ඉඩකඩ රහිත ස්ථානයකදී පවා හොඳින් සටන් කිරීමේ හැකියාව මෙයින් ලැබෙනවා. මෙය කෙටි කාලයකින් ඉගෙන ගැනීමට හැකියි නමුත් ක්‍රීඩාවේ උසස් තත්ත්වයකට පැමිණීමට බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. කොහොම උනත් ඔබට මේ සටන් කලාව ඉගෙන ගැනීම මගින් ඉතා ඉක්මනින් ආත්මාරක්ෂාව සලසා ගත හැකියි. මගේ ශිෂ්‍යයන් වයස අවුරුදු 4 සිට 77 දක්වා කාණ්ඩවල ඉගෙන ගැනීමට පැමිණෙනවා. මෙය තමන් කැමත්තක් තිබේ නම් ඕනෑම වයසක කෙනෛකුට කළ හැකියි.
නමුත් කාන්තාවන්ට වඩාත් සුදුසුයි.
මේ සඳහා කාරණා දෙකක් බලපානවා. පළමු කාරණය තමයි මෙහි නිර්මාතෘ කාන්තාවක් වීම. අනෙක් කාරණය තමයි මේ සඳහා වැඩි ශක්තියක් අවශ්‍ය නෑ. ඔබට සටන් කලාව සඳහා ආනෝඩ්ල්ඩ් ස්වාසනේගර් වගේ වෙන්න අවශ්‍ය නෑ. මෙහි එන සියලු පහරවල් කාන්තාවන්ටත් එල්ල කළ හැකියි. තාකෂණික ක්‍රමයට අනුව ක්‍රීඩා කිරීම නිසා මෙමගින් වැඩි බලපෑමක් සතුරාට එල්ල වෙනවා. ඒකනිසා අනෙක් සටන් කලාවන්වලට වඩා මෙය කාන්තාවන් සඳහා වඩාත් සුදුසු ලෙස මා දකින්නෙ.
වින්ග්-චුන්ග් සංකල්ප
පළමු සංකල්පය පාර නිවැරදි නම් ඉදිරියට යන්න.(ගහන්න පුළුවන් නම් ගහන්න) දෙවැනි සංකල්පය ප්‍රතිවාදියාගේ පීඩනයෙන් මිදෙන්න. අනෙක් කාරණය සටනේ රැඳී සිටින්න. සිව්වැනි සංකල්පය මෙහිදී ඉක්මනින් සතුරා අඩපණ කිරීම සඳහා ප්‍රතික්‍රියා දැක්වීම. ආත්මාරක්ෂාව කියන්නේ ඒකයි. එහිදී බොහෝ වේලාවක් සටන් කරන්නෙ නෑ.
වින්ග් චුන් දැනුම ලෝකයාට බෙදා දීම
ඇත්තටම ඒක සතුටක්. මොකද විවිධ භාෂා. විවිධ ආගම්, ජාතීන් විවිධ සංස්කෘතීන් සමගින් ක්‍රියා කිරීම ඇත්තටම විශේෂයක්. මටත් අවශ්‍ය ඒකයි. මම දැනට උගන්වා ඇති ශිෂ්‍ය සංඛ්‍යාව අති විශාලයි. විශේෂයෙන් ආරක්ෂක සේවයේ නියුතුවූවන්ට තමයි මම වැඩියෙන්ම උගන්වා තිබෙන්නේ.
වින්ග්-චුන් වෙනත් සටන් කලාවන් සමගින් සංසන්දනය
ඔව්. මෙමගින් අනෙක් ඕනෑම සටන් කලාවක් පාලනය කළ හැකියි. මොකද මෙය නිර්මාණය වී තිබෙන්නේ වෙනත් සටන් කලාවක ආකාරයට තාක්ෂණික ක්‍රමවලට අනුකූලව නොවන නිසා. නමුත් අපි කිසිදු ආකාරයකට වෙනත් සටන් කලාවකට එරෙහිව මෙය භාවිත කරන්නෙ නෑ. වින්ග්- චුන් සටන් කලාවේ ලෝක මට්ටමේ තරග පැවැත්වෙන්නේ නෑ. මොකද තරගවලදී නීතිරීති තිබෙනවා. නමුත් මෙහිදී කිසිදු නීතිරීතියක් භාවිත වෙන්නෙ නෑ.
මෙම ශෛලිය හා අනෙක් වින්ග් චුන් ශෛලීන්
ලොව පුරා විවිධ ශෛලීන්වල ග්‍රෑන්ඩ් මාස්ටර්වරුන් සිටිනවා. ඔවුන් එක පවුලක් වගේ එකමුතුවෙන් වැඩ කටයුතු සිදු කරගෙන යනවා. දැනුම බෙදා හදා ගන්නවා. ඔවුන්ගේ ශෛලිය මගේ ශෛලියට වඩා වෙනස් වුණා කියල මම හිතන්නෙ නෑ ඔවුන් මගේ සතුරන් කියන කාරණය. මගේ ශිෂ්‍යයෙක් පවා එහෙම වෙනත් වින්ග්-චුන් සටන් කලාවක ශිෂ්‍යයෙකු සමගින් ගැටුමක් ඇති කර ගත්තොත් මම කෙලින්ම ඔවුන්ගේ ගුරුවරුන් සමගින් හමුවී කථා කරල එය විසඳා ගන්නවා. මම හිතන්නෙ වින්ග් චුන්වල පවා එලෙස වෙනස්කම් තිබීම හොඳයි. කියන කාරණය.
ලෝක මට්ටමින් වින්ග්-චුන් ව්‍යාප්තිය
යුරෝපානු රටවලින් මෙය වඩාත්ම වැඩි ප්‍රමාණයක් මේ සඳහා යොමු වී ඇත්තේ ජර්මනියේ. චීනයෙන් පසුව මෙම සටන් කලාව වෘත්තීය මට්ටමට පැමිණි පළමු රට ජර්මනියයි. ඊට අමතරව ඇමෙරිකාව, එංගලන්තය, ඩෙන්මාර්කය වැනි රටවලත් මෙහි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මේ සියලු රටවල වින්ග්-චුන් මව් ශෛලියේ වගේම අනෙකුත් ශෛලීන් එකමුතුවෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන් රැසක් බිහිවී තිබෙනවා. ශ්‍රී ලංකාවට නම් තවම මේ සටන් කලාව ආධුනික නිසා වැඩි පිරිසක් මේ පිළිබඳව දන්නෙ නෑ.
විවිධ රටවලින් මේ සඳහා ඇති රාජ්‍ය අනුග්රහයන්
මම උගන්වන බොහෝ රටවලින් මේ සඳහා හොඳ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. විශේෂයෙන් බ්‍රසීලය ගත්තොත් එහි පොලිස් සේවාවේ ත්‍රස්ත මර්දන ඒකකයට හා පරිසර ඒකකය යන ඒකක දෙකක් සඳහා මම සටන් කලාව ඉගැන්වීම සිදු කරනවා. කාලයක් ඔවුන්ගේ සියලුම නිලධාරීන්ට මේ සටන් කලාව ඉගෙන ගැනීමට නියම වුණා. කොහොමත් මම වසරකට පොලිස් නිලධාරීන් පමණක් 20,000 ක් පමණ මෙය උගන්නනවා.
සටන් කලාවේ වර්තමානය හා අනාගතය
මම හිතන ආකාරයට තවත් මෙහි බොහෝ අංශ දියුණු විය යුතුයි. එහිදී මේ සඳහා සහභාගි වන ශිෂ්‍ය ප්‍රජාව පමණක් නෙමෙයි. මෙහි ඉගැන්වීමේ තත්ත්වයත් දියුණු විය යුතුයි. මොකද අද අපිට සටනකදී මුහුණ දිය යුතු අභියෝගයන් මීට අවුරුදු 50 කට පෙර මුහුණ දුන් අභියෝගයන්ට වඩා වෙනස්. එම අභියෝගයන්ම තවත් අවුරුදු 20 කට පසුව වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නෙ ඒ තත්ත්වයන් සඳහා වින්ග් චුන් දියුණු විය යුතුයි. ඒ වගේම මම දකින ආකාරයට තවත් වසර 10 කින් පමණ මෙය රටවල් 50-60 ක පැතිර යා යුතුයි.
.jpg)
ඡායාරූප ශමීර රාජපක්ෂ