එංගලන්ත එක්දින කණ්ඩායම සමගින් මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භයේදී එංගලන්ත කණ්ඩායමට වඩා මදක් පසුපසින් සිටිමින් තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග දෙක ජය ගනිමින් එංගලන්ත කණ්ඩායමට වඩා මදක් ඉදිරියට පැමිණ ඇත. තරගාවලියේ තවත් එක්දින තරග 5ක් ඉතිරිව ඇති බැවින් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ජයග්‍රාහී රිද්මය පවත්වා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්ය. තෙවැනි එක්දින තරඟය අද (03) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ප.ව 2.30ට තරගය ආරම්භ වීමට නියමිතය.
පළමු තරග දෙක තුළදී මෙන්ම අවසන් වරට පැවැති ඉන්දීය එක්දින තරගාවලියේදීද ලකුණු අතරට පිවිසි මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් මත අද තරගයට ක්‍රීඩා නොකරයි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක තරගනිමින් මහේල, ඩිල්ෂාන්, සංගාක්කාර මෙන්ම, ඇන්ජලෝ මැතිව්ස්ද නිසි අයුරින් විවේක ගැන්වීම වැදගත්ය. මේ වනවිට පැවැති තරග දෙකම ජයග්‍රහණය කර ඇති බැවින් මහේල විවේක ගැනීම හෝ මහේලට විවේකයක් ලබාදීම ඥානාන්විත ක්‍රියාවකි.
එමෙන්ම මැතිව්ස්, ඩිල්ෂාන් මෙන්ම සංගාක්කාරටද විවේකයක් ලබාදීම වැදගත්ය. එබැවින් අද පැවැත්වෙන තරගයද ජයග්‍රහණය කරමින් තරගාවලියේ තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ. එසේ වුවහොත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනා තරගයෙන් තරගයට විවේක ගැන්විය හැකිය. එබැවින් ඒ සඳහා අවස්ථාවක් උදාකර ගැනීම සෙසු ක්‍රීඩකයන්ගේ වගකීමකි.
මහේල අද තරගයට ක්‍රීඩා නොකරන බැවින් ඔහුගේ ස්ථානය සඳහා අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමට කැඳවා ඇත. කෙසේ වෙතත් අද තරගයට ක්‍රීඩා කරන අවසන් එකොළොස් දෙනා අතරට මහේලගේ ස්ථානය සඳහා තිළිණ කණ්ඩම්බි කැඳවීමට වැඩි අවස්ථාවක් ඇත. කණ්ඩම්බි අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් එය ඔහුට ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. එබැවින් අවස්ථාවක් හිමි වුවහොත් උපරිම ඵල නෙළාගැනීම කණ්ඩම්බිගේ වගකීමකි. තවද මහේල වෙනුවට අශාන්ද කණ්ඩායමට කැඳවා ඇති බැවින් අද තරගය සඳහා කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට කණ්ඩම්බි සහ අශාන් අතර තරගයක් නිර්මාණය වෙමින් පවතියි.
පසුගිය තරගාවලි කිහිපයේදී එතරම් දක්ෂතා දැක්වීමට අශාන් අපොහොසත් වුවද තේරීම් කමිටුව ඔහු කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා ඇති බැවින් අංක හතර ස්ථානයට නායක මැතිව්ස් කැඳවා අංක පහ ස්ථානය සඳහා අශාන් කැඳවීමටද අවස්ථාවක් ඇත. එහෙත් සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට කණ්ඩම්බිට මේ වනවිට අවස්ථාවක් හිමි නොවූ බැවින් මහේලගේ අංක හතර ස්ථානය සඳහා ක්‍රීඩා කිරීමට කණ්ඩම්බිට අවස්ථාවක් ලබාදීම කළ යුතුව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නොමැත. මන්ද එක් තරගයක් සාර්ථක වන කුසල් නැවත අසාර්ථක වන බැවිනි. එබැවින් සිය සාර්ථකත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට කුසල් උත්සාහ කළ යුතුය. අවම වශයෙන් ලකුණු 40 සීමාවටවත් පැමිණීමට කුසල් කටයුතු කළ යුතුව ඇත. එසේ නොමැතිව ඔහුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම සෙසු තරුණ ක්‍රීඩකයන්ට කරන අසාධාරණයකි.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ සංයුතියේ වෙනසක් සිදුවීමට ඇති අවස්ථාව විරලය. කෙසේ වෙතත් වෙනසක් වන්නේ නම් ඒ වේග පන්දු යවන්නන් විවේක ගැන්වීම විය හැකිය. එහෙත් ඒ සඳහා ඇති අවස්ථාව විරලය. එබැවින් දෙවැනි තරගයට ක්‍රීඩා කළ පන්දු යැවීමේ සංයුතියම අද තරගයටත් යොදාගැනීම සිදුවිය හැකිය.
මේ දිනවල පවතින වැසිබර කාලගුණය හේතුවෙන් අද තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකිය. කෙසේ වෙතත් මෙම කාලගුණ තත්ත්වය වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකරය. විශේෂයෙන්ම පන්දුවේ දෝලනයක් ලබාගැනීමට එය අමතර වාසියකි. එබැවින් එංගලන්ත වේගපන්දු යවන්නන් මෙම තණතීරුවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇත. එහෙත් එංගලන්ත වේගපන්දු යවන්නන් නිසි එල්ලයකට පන්දු නොයැවීම ගැටලුවකි. ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක්කළ සැණින් දුර්වල පන්දු ලබාදීම එංගලන්ත පන්දු යවන්නන්ගෙන් පළමු තරග දෙක තුළදීම දැකගත හැකිය. එය එංගලන්ත පන්දු යවන්නන් පීඩනයට හසුකරවන්නකි. මෙම ගැටලුවට අද තරගයේ දී එංගලන්ත පන්දු යවන්නන් විසඳුමක් සොයා ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වනු නිසැකය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් රවී බොපාරා ලකුණු අතර සිටීම එංගලන්ත කණ්ඩායමට ධන ලකුණකි. බොපාර පසුගිය තරගාවලි කිහිපය තුළදීම දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකි. එහෙත් එංගලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු අතර නොමැතිවීම ඔවුන්ට හිසරදයක්ව ඇත. විශේෂයෙන් නායක කුක් ලකුණු අතර නොමැතිවීම එංගලන්තයට දැඩිව දැනෙමින් තිබේ. එමෙන්ම ලකුණු අතරට පිවිසෙන ක්‍රීඩකයන් දිගු ඉනිම් ක්‍රීඩා නොකිරීමද එංගලන්තයට ගැටලුවකි. විශේෂයෙන් ජෝ රූට් පිටියේ ස්ථාවර වුවද එය දිගු ඉනිමක් දක්වා පරිවර්තනය කර නොගැනීම ඔහුට මෙන්ම එංගලන්ත කණ්ඩායමටද පාඩුවකි. තවද ඉයන් බෙල් මෙන්ම, ඉයන් මෝගන්ද ලකුණු අතර නොමැති වීම තුළ එංගලන්ත කණ්ඩායම පීඩනයට හසුව ඇත.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි. කෙසේ වෙතත් අද තරගයට දකුණත් පිතිකරු ජේම්ස් ටේලර් කැඳවීමට ඉඩක් ඇත. ටේලර් එංගලන්ත පළමු පෙළ තරගාවලියේ දී ලකුණු අතර සිටින පිතිකරුවෙකි. ටේලර්ද සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි වනතුරු බලා හිඳියි. එමෙන්ම අද තරගයේ දී වේග යවන ක්‍රිස් ජෝඩන්ට අවස්ථාවක් හිමිවීම බොහෝදුරට සිදුවිය හැකිය.
එංගලන්ත සංචිතය
ඇලිස්ටෙයාර් කුක් (නායක), මොයින් අලි, ජේම්ස් ඇන්ඩර්සන්, ඉයන් බෙල්, රවී බොපාරා, ජෝස් බට්ලර්, ස්ටීවන් ෆින්, හැරී ගර්නි, ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ජෝඩන්, ඉයන් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ජේම්ස් ටේලර්, ක්‍රිස් වෝක්ස්
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ශාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, තිළිණ කණ්ඩම්බි, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශමින්ද එරංග, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, ළහිරු ගමගේ,අශාන් ප්‍රියන්ජන
ඡායාරූප ශාන්ත රත්නායක