ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 වසරේදී ආදායම රුපියල් මිලියන 400කින් වර්ධනය කරගෙන ඇති බවත්, එහි ලාභය රුපියල් මිලියන 229ක් බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ නොනිල විගණන වාර්තාව (Non Approved) ක්‍රීඩා අමාත්‍යවරයාට පිළිගන්වමින් පවසා සිටියේය.
එහෙත් එම විගණන වාර්තාව සම්බන්ධයෙන් ගැටලු පැනනැගී ඇත්තේ, ප්‍රකට ක්‍රීඩා සමාජ බහුතරයක් සිය විගණන ක්‍රිකට් ආයතනයට ලබානොදීම හා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ එම විගණන වාර්තාවේ 2016 වසරට අදාළ ව්‍යාපෘති හා වියදම් පිළිබඳව පැහැදිලිව සටහන් කර නොතිබීම හේතුවෙනි. මෙම වාර්තාව ලබාගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයාද උත්කර්ෂයෙන් යුතුව පවසා සිටියේ, ක්‍රිකට් ආයතනය පමණක් සිය විගණන වාර්තා ලබාදුන්නා යැයි පාරම්බාමිනි.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ දූෂිත ගනුදෙනු හා අක්‍රමවත් මූල්‍ය පරිපාලනය හේතුවෙන් 'ශ්‍රී ලංකා ක්‍රිකට් ලාභ ලැබුවා' යැයි පැවසීම එක් අතකට සිනහා උපදවන කාරණයකි. මෙහි ඇති වඩාත් හාස්‍යජනකම කාරණය වන්නේ, 'රුපියල් බිලියනකට වැඩි මුදලක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සුරක්ෂිත කළේය' යන්න ක්‍රිකට් සභාපතිවරයා පැවසීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ගේ බෝනස් මුදල් කපාහරිමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලෝක කුසලානය පැවැත්වීමට ලබාදුන් මුදල්වල හිඟ මුදල් ලබාගනිමින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ලාභ ලැබුවේ යැයි පැවසීය හැකිය. ඒ නිසා එසේ පැවසීම එහි සේවකයන්ට නම් සතුටුදායක කාරණයක් නොවේ. හේතුව සේවකයන්ට මෙම වසරේදීවත් 'අවුරුදු බෝනස්' නොලැබෙන බවට මේ වනවිටත් කුකුසක් මතුව ඇති හෙයිනි.
කෙසේ වෙතත් ලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට්වල දැන් දැන් බාල වැඩ කරළියට පැමිණෙමින් තිබේ. පළාත් ක්‍රිකට්වලට බලය ලබාදී, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කිරීමේ සැලසුමක් මෙම වසර ආරම්භයේ සිට වත්මන් පරිපාලනය ආරම්භ කළද, පළාත් ක්‍රිකට්වලට ලබාදෙන මුදල් බහිරවයන් මෙන් ගිලගෙන මුදල්වලට සිදුවුණු දෙයක්ද නොමැති තරම්ය. එහි හොඳම උදාහරණය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.
දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නඩු කටයුත්තක් හේතුවෙන් එහි පරිපාලනය භාරව කටයුතු කරන්නේ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයයි. මෙහිදී ගාල්ල ක්‍රීඩාංගණයේ පිටත ඔපය, ශ්‍රී විභූතිය හා ඓතිහාසිකත්වය මතුවන අයුරින් පෙනුණද, එහි ඇතුළත සිතූ තරම් සුන්දර නැත. හොඳම උදාහරණය ලෙස අපට පෙන්වාදිය හැකි වනුයේ, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමටවත් ගාල්ල ක්‍රීඩාංගණයේ ස්ථානයක් නොමැති වීමයි. මෙය කාලාන්තරයක සිට පැවතුණු ගැටලුවක් වන අතර, මේ වනවිට මාධ්‍ය සාකච්ඡා පවත්වනුයේ මාධ්‍යවේදීන් සඳහා ආහාර ගැනීමට ඇති ස්ථානයේය. එහි එක් අන්තයක මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙද්දී, අනෙක් පස ආහාර ගැනීමට සූදානම් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට කොතරම් ගැළපේද යන්න විමසිය යුතුය. මේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල එක් බාල වැඩක් පමණි. මෙවැනි බාල වැඩ රට පුරාම ඕනෑතරම් දැකගත හැකිය.
එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අවසානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි බංග්ලාදේශ නායක මුෂ්ෆීකර් රහීම්, දැඩි අපහසුතාවන්ට පත්වන අයුරුද දැකගත හැකිවිය. ඒ ආහාර සූදානම් කරමින් සිටි පිරිසකගේ අධික ශබ්දය හේතුවෙනි. බංග්ලාදේශ නායකයා එය නවත්වා දෙන ලෙස ඉල්ලා සිටි අතර, පසුව මාධ්‍යවේදියෙකුගේ කීම මත ඔවුන්ගේ ශබ්දය නවතාලීමට හැකිවිය. ලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ගාල්ල වැනි සුවිශේෂී ක්‍රීඩාංගණයක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සඳහාවත් ස්ථානයක් නොමැතිවීම කනගාටුදායකය.
එමෙන්ම දැනට මාධ්‍ය සාකච්ඡා පවත්වන මාධ්‍ය‘වේදීන්ට ආහාර ගැනීමට ඇති ස්ථානය පවා නිසි ප්‍රමිතියට නොමැතිවීම පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල හා පළාත් ක්‍රිකට්වල අරාජිකත්වයයි. එහි වහලයේ කොන්ක්‍රීට් පතුරු ගැලවී යමින් පවතින අතර, බිමට එළා ඇති බුමුතුරුණද විනාශ වී ගොස් තිබේ. මේවා නඩත්තු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මුදල් නොමැති වුවද, වැඩි වේතනවලට හිතවතුන් බඳවා ගැනීමට නම් මුදල් යහමින් පවතියි. එමෙන්ම පළාත් ක්‍රිකට් සංගම් මේවා දැක දැක නොදැක්කා සේ ඇස්කන් පියා සිටීම
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අභාග්‍යයකි.
ලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දැන්වත් මෙම ගැටලු විසඳාගැනීමට කාලය එළැඹ තිබේ. එසේ නොකරන්නේ නම් ලාභ ශ්‍රී ලංකා ක්‍රිකට්වල බාල වැඩ තව තවත් කරළියට පැමිණීම වළක්වාලිය නොහැකි වනු ඇත.