පාපන්දු, ක්‍රිකට් හැරුණු කළ කණ්ඩායම් තරග අතින් ලොව වඩාත්ම ප්‍රේක්ෂක අවධානයට ලක්වූ රග්බි ලෝක කුසලානයට ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙසින් සහභාගී නොවූවද තරගාවලියට මෙරටින්ද දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වනු ඇත.
තරගාවලයේ වඩාත්ම අවධානයට ලක් වන ක්‍රීඩකයන් හා කණ්ඩායම්
ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් අතරින් බොහෝ දෙනාගේ දැඩි පරීක්ෂාවට ලක් වී ඇති කණ්ඩායම වන්නේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමයි. වත්මන් ලෝක ශූරයන්ද වන ඔවුන්ගේ ක්‍රීඩා රටාව මෙන්ම ඒ හා බැඳුණු උපසංස්කෘතිද ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීම මීට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන් ඔවුන්ගේ සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසය හා ප්‍රතිවාදීන්ට එල්ල කරන දැඩි පීඩනය මෙවර තරගාවලියේදීද ඒ අයුරින් දැකගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
කණ්ඩායමේ ක්‍රීඩක සංයුතිය සැලකූ විට නායක රිචී මැකෝ ප්‍රධාන වන්නේ, ලොව මෙතෙක් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා හා ලෝක කුසලානය පසුගිය වර දිනාගත් කණ්ඩායමේ නායකයාද වීමයි. 2001 වර්ෂයේ සිට ජාත්‍යන්තර රග්බි පිටියේ රැඳී සිටින රිචී මේ දක්වා තරග 142 කදී ලකුණු 135 ක් රැස් කිරීමට සමත්ව ඇත. එනිසා මෙවර තරගාවලියේදී රිචීගේ අත්දැකීම් සහිත නායකත්වය නවසීලන්තයට දැඩි ශක්තියක් ෙවනවා සේම අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක්ද වනු ඇත.
එමෙන්ම ලොව වැඩිම ලකුණු ප්‍රමාණයක් මේ වනවිට ලබා සිටින ප්‍රවර්ථකයා වන ඩැනියෙල් (ඩෑන්) කාටර් තරගාවලියට එක් වීම නවසීලන්තයට තවත් වාසිදායක වනු ඇත. කණ්ඩායමේ අත්දැකීම් සහිත සෙන්ටර් ක්‍රීඩකයන් වන මා නෝනු, කොන්රඩ් ස්මිත් මෙන්ම මෑත කාලයේ කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක නිරත වන වින්ගර් ක්‍රීඩක ජුලියන් සැවියාද අනෙකුත් ක්‍රීඩකයන්ට හිසරදයක් වනු නොඅනුමානය.
කාටර්
කෙසේ වෙතත් ඔවුන් මේ දක්වා ලෝක කුසලාන තරගාවලිහිදී දැක්වූ දක්ෂතා සලකා බැලීමේදී පිළිමළුන් පිටුදැකීමේ වටවලදී ඔවුන්ගේ ක්‍රීඩා විලාසය තරමක් දුර්වල ආකාරයක් ගන්නා බව දක්නට ඇත. ඔවුන්ට ශූරතාව අහිමි වූ තරගාවලි සෑම එකකදීම පාහේ එම තත්ත්වය දක්නට ලැබිණ.
නවසීලන්තය හැරුණු කොට මෙවර තරගාවලියේ බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී ඇත්තේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයි. එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමේ නායක ක්‍රිස් රොබ්ෂෝ, ප්‍රොප් ක්‍රීඩක බිලී වුනිපෝලා හා ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඕවන් ෆැරල් හැඳින්විය හැකිය.
ඒ අතරින් යොවුන් ක්‍රීඩක ඕවන් ෆැරල් සිය මවුරටේදී දක්ෂ ප්රවර්තකයෙකු ලෙසින් හැඳින්වෙන අතර, ඔහුගේ ක්‍රීඩා රටාව අනෙකුත් කණ්ඩායම්වලට අභියෝගයක් වනු ඇත. එමෙන්ම එංගලන්තය ලෝක කුසලාන තරගාවලිහිදී සාමාන්‍යයෙන් දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණෙන කණ්ඩායමක්ද වන අතර, වැඩිම ජාතීන් ප්‍රමාණයක් ක්‍රීඩා කරන රට නිසා විවිධ ශරීර මට්ටම්වලින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැකගත හැකි වනු ඇත. කෙසේ වෙතත් එංගලන්තයට සිය කණ්ඩායමේ සුපිරි සෙන්ටර් ක්‍රීඩක මානු ටුයිලාගී හා වින්ගර් ක්‍රීඩක ක්‍රිෂ් ඈෂ්ටන් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීමට විශාල පාඩුවක් වනු ඇත.
අවධානයෙන් බැහැර කළ නොහැකි අනෙක් කණ්ඩායම වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඔවුන්ගේ සංයුතිය ගත් කළ තරුණ ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලය සඳහා තෝරා ගෙන ඇති බව දක්නට ඇත. ඒ අතරින් නායක ස්ටීවන් මෝරේ හා මැට් ගෙටාෆු හා ඩේවිඩ් පෝකොක් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක් වෙති.
රිචී
විශේෂයෙන් ප්‍රබල පසුපෙළක් සහිත කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියාවේ අත්දැකීම් බහුල හා අනෙක් කණ්ඩායම්වලට පීඩනයක් එල්ල කරන ඊශ්‍රායල් ෆලාවු, ඇඩම් ඈෂ්ලි කූපර් හා ක්වයිඩ් කූපර් මෙවරද සිය ක්‍රීඩා රටාවන් ඒ ආකාරයට ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.
ලෝක කුසලාන ද්විත්වයකට හිමිකම් කියන දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන්ද මෙවර තරගාවලිය සඳහා ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත් කොට ඇත. ඒ අතරින් තරගාවලියට එක්වන අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා ලෙසින් සැලකෙන වික්ටර් මැට්ෆීල්ඩ් ප්‍රධාන වේ. මේ දක්වා ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයක් (2003, 2007, 2011) ඔහු නියෝජනය කර ඇත.
ඒ හැරුණු කොට කණ්ඩායමේ වඩාත්ම භයානක ක්‍රීඩකයා ලෙස වින්ගර් ක්‍රීඩක බ්‍රයන් හබානා හැඳින්විය හැක. 2007 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා ද වූ හබානා තරගාවලියට එක්වන ක්‍රීඩකයන්ගෙන් වේගය අතින් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙක්ද වේ. පසුගිය වර අනුශූරයන් ලෙසින් තරගාවලිය නිමාවට පත් කළ ප්‍රංශයෙන්ද මෙවර හොඳ ක්‍රීඩක සංචිතයක් ඉදිරිපත් කොට ඇත.
විශේෂයෙන් කණ්ඩායමේ නායකයා ලෙසින් ක්‍රීඩා කරන තියරි ඩුසොටෝ කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා ලෙසින් හැඳින්වේ. ඔහුගේ ක්‍රීඩා රටාව ලෝක කුසලානවලදී වඩාත් කැපී පෙනෙන අතර, 2007 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිවද, 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී නැවතත් නවසීලන්තයට එරෙහිවද ඔහු දැක්වූ ක්‍රීඩා රටාව අමතක නොවන මට්ටමේ ඒවා විය. ඔහු හැරුණු කළ ස්ක්රම්හාෆ් ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා කරන මෝගන් පැරා ද ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි ක්‍රීඩකයෙකි.
හබානා
මෙවර වඩාත් අවධානයක් දිනාගත් තවත් කණ්ඩායමක් වන වේල්සයෙන්ද තරගාවලිය සඳහා දක්ෂ ක්‍රීඩකයන් රැසක් ඉදිරිපත් කොට ඇත. විශේෂයෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකින් යුතු නායක සෑම් වෝබර්ටන්, පසුපෙළ අත්දැකීම් සහිත හා වේගවත් ක්‍රීඩා රටාවකින් හෙබි ජොනතන් ඩේවිස්, ජිමී රොබර්ට්ස් හා යොවුන් ක්‍රීඩක ජෝර්ජ් නෝත්ද තරගාවලියේ පෙරළියක් ඇති කළ හැකි ක්‍රීඩකයන් ලෙස හැඳින්වේ. විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලිහි පිළිමළුන් පිටුදැකීමේ වටවලදී වේල්සය දක්වන දුර්වල ක්‍රීඩා රටාව මෙම තරගාවලියේදී වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු විය හැක.