සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට (29දා) සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වේ.සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති පූර්ණ තරගාවලියෙන් මාසයකට පමණ ආසන්න කාලයක් විවේකයෙන් ගත කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරග සංචාරයට එක්වන්නේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත්ගේ නායකත්වය යටතේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම උපනායක දිනේෂ් චන්දිමාල්ද අාබාධයන්ට ලක්ව සිටින බැවින්, රංගන හේරත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදේ. එහෙයින් තරගාවලිය සාර්ථකව අවසන් කරගන්නට ඔහුට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.
සනත් ජයසූරිය ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නවක මුහුණු කිහිපයක්ම සිම්බාබ්වේ තරග සංචාරය සඳහා කැඳවා ඇත. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කෙසේ බලපානු ඇතිදැයි යන්න නවකයන් විසින් මෙම තරගාවලියේ ඉදිරිපත් කරන දක්ෂතා මත පදනම් වනු ඇත. තේරීම් කමිටුව අනාගතය වෙනුවෙන් යැයි පවසමින් හෝ නවකයන්ට මෙවැනි තරගාවලිහිදී අවස්ථාවක් ලබාදීම අගය කළ යුතුය. කෙසේ වෙතත් සිය හැකියාවන් ඉදිරිපත් කරමින් තම තමන්ගේ ස්ථානයන් රැකගැනීම නවකයන්ගේ වගකීමයි.
නවකයන්ට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට මෙම තරගාවලිය කදිම අවස්ථාවකි.සිම්බාබ්වේ තරග සංචාරය සඳහා නම් කළ සංචිතයේ වේග පන්දු යවන්නන් සිවුදෙනෙකි. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, අසේල ගුණරත්න සහ ළහිරු ගමගේ එම වේග පන්දු යවන්නන් සිවුදෙනා වේ. ඒ අතරින් සුරංග ලක්මාල් හැරුණු කල අන් සියලුදෙනාම තවමත් ජාත්‍යන්තර පිටියට කෝඩුකාරයන්ය. හෙට තරගයේදී සුරංග ලක්මාල්ගේ සහායක පන්දු යවන්නා ලෙස 19 හැවිදිරි ළහිරු කුමාර ටෙස්ට් වරම් හිමිකර ගනු ඇතැයි විශ්වාසය පළකළ හැකිය. ඒ ළහිරු, යොවුන් කණ්ඩායම සමග සිදුකළ එංගලන්ත තරග සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. එම තරගාවලියේදී එංගලන්ත යොවුන්
කණ්ඩායමට වසර හයකට පසුව සිය රටේදීම සිවුදින තරගයක පරාජය භුක්ති විඳින්නට සිදුවිණි. ඒ සඳහා ළහිරුගේ (පළමු ඉනිම - 7/82 හා දෙවැනි ඉනිම 7/52) දක්ෂතා බෙහෙවින්
ඉවල් වූ බව නොරහසකි.
තරගාවලිය සඳහා මැතිව්ස් ඇතුළත්ව සිටි අතර, පාදයේ අාබාධය හේතුවෙන් ඔහුගේ ස්ථානයට උපුල් තරංග කැඳවනු ලැබීය. ඒ අනුව තරංග ආරම්භක පිතිකරුවෙක් වුවද, බොහෝ
දුරට ඇන්ජලෝ පන්දුවට පහරදුන් ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඔහුට සිදුවේ. කුමන ස්ථානයේ ක්‍රීඩා කළද සිය හැකියාවන් ඉදිරිපත් කිරීම තරංගට හිතකරය. ඔහු
දක්ෂතා දැක්වුවහොත් ඔහුට සිදුවූ මදිපුංචිකම්වලට පිළිතුරු ලබාදීමට හැකිය. යම් හෙයකින් උපුල් තරංග අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යොදවා වෙනත් ක්‍රීඩකයෙකුට එම අවස්ථාව ලබාදුනහොත්, උපුල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සැලැස්ම ගැන මනා වැටහීමක් ලබාගත හැකිය. ඒ සඳහා තේරීම් කමිටුව, ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාවක් ලබාදෙන්නේ දැයි අපි බලා සිටිමු.
ආබාධයක් හේතුවෙන් චන්දිමාල්ද තරගාවලියට එක්ව නොමැති බැවින් කඩුලු රකින්නාගේ ස්ථානය බොහෝදුරට නිරෝෂන් දික්වැල්ලට හිමිවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. එහෙත් කුසල් ජනිත් පෙරේරාද කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් කඩුලු රකින්නාගේ කාර්යභාර්ය වෙනුවෙන් ඔහුගේ නමද කියවේ. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායමට එරෙහිව දැක්වූ දක්ෂතා නිසා දිමුත් කරුණාරත්නට නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය වෙන්වූ බව විශ්වාස කළ හැකිය. දිමුත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නම් එය ඔහුට මෙන්ම කණ්ඩායමටද හිතකරය.
සිම්බාබ්වේ කණ්ඩායම, ජාත්‍යන්තර තරග බිමේදී දක්ෂතා දැක්වූ හිත් ස්ට්‍රික්ගේ ගුරු හරුකම් යටතේ පළමු වරට මෙම තරගාවලියේදී තරග බිමට පිවිසේ. වර්තමාන සිම්බාබ්වේ විස්සයි20 කණ්ඩායමද කිසිවෙකු නොසිතූ අවස්ථාවලදී ජාත්‍යන්තර පිටියේ පතාක යෝධයන් ඉතා පහසුවෙන් පරාජය කිරීමට මෑත කාලයේදී සමත්විණි. ඒ අතර දෝණිගේ නායකත්වය යටතේ තරග කළ ඉන්දීය කණ්ඩායමද වේ. එහෙයින් සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමද අඩුවෙන් තක්සේරු කර තරග බිමට පිවිසීම අනුචිතය. කෙසේ වෙතත් චටාරා සහ පනියන්ගරා අාබාධයන් හේතුවෙන් කණ්ඩායම සමග එක්ව නොසිටීම සිම්බාබ්වේ කණ්ඩායමට පාඩුවකි.