නොකඩවා දෙවැනි වරටත් සමස්ත ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය දිනාගනිමින් 27 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ ඊයේ (15) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. අවුරුදු 20 පහළ හා 20 ඉහළ ලෙස වයස් කාණ්ඩ 02 ක් යටතේ පැවති මෙම තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු 160 ක් හිමි කරගත් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම කාණ්ඩ දෙකෙහිම ශූරතාව දිනාගැනීමට සමත්විය.
ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම
මෙහි සමස්ත අනුශූරතාව ප්‍රසාද ලකුණු 111 ක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිවූ අතර, ඔවුහු ඉහත වයස් කාණ්ඩ දෙකෙහිම අනුශූරතාව දිනාගත්හ. මේ අතර බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කොළඹ දිස්ත්‍රික්කයට මෙහි තෙවැනි ස්ථානය හිමිවූ අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු 99 ක් හිමිවිය. කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කය කොළඹ හා නාගරික යොවුන් ලෙස කණ්ඩායම් දෙකකට බෙදී තරග කළ අතර, එහිදී නාගරික යොවුන් කණ්ඩායමට අටවැනි ස්ථානය හිමිවිය.
අනුශූර කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම
තරගාවලියේ 20 පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එල්.ඩබ්. කුමාරසිරි (ගම්පහ) සම්මාන දිනාගත් අතර, තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ ඔහු නව තරග වාර්තාවක් (මී. 15.67) පිහිටුවීමට සමත්විය.
20 පහළ දක්ෂතම ක්‍රීඩකයා - එල්.ඩබ්. කුමාරසිරි
මෙම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එච්.ඩී. විදූෂා ලක්ෂානි (ගම්පහ) සම්මාන දිනාගත් අතර, තුම්පිම්ම ඉසව්ව නියෝජනය කළ ඇය මී. 12.84 ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටවූවාය.
20 පහළ දක්ෂතම ක්‍රීඩිකාව - එච්.ඩී. විදූෂා ලක්ෂානි
මේ අතර 20 ඉහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ ජී.කේ. සඳරුවන් (ගම්පහ) සමත් වූ අතර, එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඔහු ඒ සඳහා මී. 7.78 ක දක්ෂතාවක් දැක්වීය.
20 ඉහළ දක්ෂතම ක්‍රීඩකයා - ජී.කේ. සඳරුවන්
එම වයස් කාණඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආර්.එම්. සුභාෂිණී (කුරුණෑගල) සම්මාන දිනාගත්තාය. මී. 400 ඉසව්ව නියෝජනය කළ ඇය සිය ඉසව්ව අවසන්කිරීමට තත්. 54.31 ක කාලයක් ගතකළාය. මොවුන් දෙදෙනාම තමන් නියෝජනය කළ ඉසව්වන්හි නව තරග වාර්තා පිහිටුවීමට සමත් විය.
20 ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව - ආර්.එම්. සුභාෂිණී
තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ අතර, ඔවුන් අතිරින් නව තරග වාර්තා 13 ක් මෙවර බිහිවිය.
පුරා මාස දෙකක් පැවති තරගාවලියට මලල ක්‍රීඩා, වොලිබෝල්, දැල්පන්දු හා ක්‍රිකට් ඇතුළු ඉසව් 10 ක් (කාන්තා/ පිරිමි) යටතේ පැවති අතර, එහි මලල ක්‍රීඩා හැරෙන්න සෙසු සියලුම තරග පවත්වා අවසන්ව තිබුණි. ඒ අනුව මලල ක්‍රීඩා තරග පසුගිය සිකුරාදා (13දා) මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, එම තෙදින තුළ ඉසව් 20 කට අධික ප්‍රමාණයක් පැවැත්විණි.
තරගාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිතයන් ලෙස ලෙසින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගගේ මහත්වරු සහභාගී වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ