ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කළ කෝචි ටස්කර්ස් කණ්ඩායම එයින් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයතු කිරීමත් සමග එම කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටි ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථා තාවකාලිකව අහිමිවිය.
ඒ අනුව ක්‍රීඩකයන්ට වන්දි ගෙවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හා කෝචි ටස්කර්ස් කණ්ඩායමට සිදුවුවද, කෝචි කණ්ඩායම සිය කොටස ගෙවූවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොටස වූ 40% තවමත් ගෙවා නොමැත. ඒ අනුව එම කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට හා මහේල ජයවර්ධනටද වන්දි මුදල් තවමත් ලැබී නොමැත.
මේ පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් මුරලි සඳහන් කර ඇත්තේ ඉන්දීය මුදල් නොමැතිව මහේලට හා තමන්ට සිය පවුල නඩත්තු කළ හැකිවුවද අවම ගෙවීමක් සහිත ක්‍රීඩකයන්ට එය ගැටලුවක් බවයි.
එසේම ලෝකයේ විවිධ ලීග තරගාවලි සඳහා තමන් ක්‍රීඩා කර ඇතත්, ඒ රටවල ක්‍රිකට් ආයතන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන් කටයුතු නොකරන බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවද මුරලි පවසයි.
“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මට ඩොලර් ලක්ෂ හතරක් හා මහේලට (එවකට කණ්ඩායමේ නායකයා) ඩොලර් ලක්ෂ 05ක් ණයයි. මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ ගැන කතා කළා වගේම ලිපි මගින් දැනුම් දී තිබෙනවා. ඔවුන්ගෙන් සහතික ලැබුණා පමණයි කිසි දෙයක් වුණේ නෑ. කෝචි කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඩොලර් මිලියන 02ක් පමණ ණයයි.
මම ලෝකෙ වටේ තියෙන ලීගවලට ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයක් මේ වගේ දෙයක් ක්‍රීඩකයන්ට කරලා නෑ. ඒ කියන්නෙ ඔවුන් (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය) ක්‍රීඩකයන් ගණන් ගන්නෙ නෑ කියලයි. ඔවුන් හිතන්නේ තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම ගැන විතරයි.
මම, මහේල වගේ අයටනම් මේ මුදල් නැතිව තවමත් ගෙදර පාලනය ඉදිරියට ගෙනයන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හිතන්න ඩෙලර් 30,000– 40,000ක් උපයන ක්‍රීඩකයෙක් ගැන. ඔවුන්ට ඒ මුදල ලොකු දෙයක්. මට දැනගන්නට ලැබුණා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උදව්වට හිටිය අයටත් තවමත් 80% ක් විතර ගෙවන්න තියෙනවා කියලා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පිළිගන්නේ නෑ. මට ඔවුන්ට එරෙහිව නඩු දාන්න අවශ්‍යතාවක් නෑ. මොකද ඒ සඳහා විශාල කාලයක් ගතවෙනවා කියලා මම දන්නවා. මම හා ඇතැම් ක්‍රීඩකයන් වසර දෙකක ගිවිසුම් අත්සන් කළේ. කෝචි කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පවතින අධිකරණ ක්‍රියාවලියෙන් ක්‍රීඩකයන්ට තමයි අවසානයේදී ගැටලුවක් වෙලා තියෙන්නේ” යැයි මුරලි පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ නම් හෙළි නොකළ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ අදාළ මුදල් ගෙවීමේ වගකීම ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොව කෝචි ටස්කර්ස් කණ්ඩයමේ පාලනාධිකාරියට බවත්, උසාවියේ තීන්දුවෙන් පසු ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුවනු ඇති බවත්ය.