ශ්‍රී ලංකා කණ්ඩායමට වර්තමානයේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නා සහ ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් එක්දින තරග දෙක සඳහා කණ්ඩායමට එක්වෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු නවසීලන්තයේදී පැවැසීය.
මේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් 'අද' කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ වනවිට පුහුණුවීම් ආරම්භ කර තිබෙන බවයි.
"මම තාම පන්දු යවන්න නිල වශයෙන් පටන්ගත්තෙ නෑ. පුහුණුවීම් නම් ආරම්භ කළා. ඒත් තාම හරියට ආරම්භ කළේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා" යැයි මාලිංග පවසයි.
කෙසේ වෙතත් ඔහු නිමාව දුටු ප්‍රිමියර් ලීග සීමිත පන්දුවාර තරගාවලියටද එක්නොවීය.
ඔහු සිය පාදයේ ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදි සිදුකළ ශල්‍යකර්මයෙන් පසු මාලිංග ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය.
පාකිස්තානු කණ්ඩායම හා දඹුල්ලේ පැවැති එක්දින තරගයෙන් පසුව ශල්‍යකර්මයට සහභාගී වූ හෙයින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට හා එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක්නොවීය.
දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන නම් කර ඇති 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයටද නම් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 11 වැනිදා ආරම්භ වෙයි.
අවසන් එක්දින තරග දෙක ජනවාරි මස 25 සහ 29 යන දිනවල පැවැත්වේ.