සමස්ත බාලක ශූරතාව නොකඩවා 07 වැනි වරටත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් (ලකුණු 100), සමස්ත බාලිකා ශූරතාව 14 වැනි වරටත් වලල එස්. රත්නායක විදුහලත් (ලකුණු 231) දිනාගනිමින් 32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ඊයේ (17දා) නිමාවට පත් විය.
ඉකුත් බ්‍රහස්පතින්දා (13දා) සිට දින පහක් පුරා පැවැති මෙවර තරගාවලියේ බාලක අනුශූරතාව කොළඹ ශාන්ත බෙනඩික් විදුහල (ලකුණු 93) විසින් දිනාගත් අතර, බාලිකා අනුශූරතාව රත්නපුර සුමන බාලිකා විදුහලට (ලකුණු 131) හිමි විය.තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස මීරිගම ඩී.එස්. සේනානායක විදුහලේ චමිල් කුමාරසිරි සම්මාන දිනාගත් අතර, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ බී.එම්. හෂිනි පබෝදා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
එමෙන්ම තරගාවලියේ සුවිශේෂී දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩිකයාට හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙන කුසලානයට මෙවර හිමිකම් කීමට 19න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කේ.කේ. රිද්මා නිශාදි සමත් විය. ඇය මීටර් 5.85 ක දක්ෂතාවක් දක්වමින් තරගාවලියේ වසර 20ක් පැරණි තරගාවලි වාර්තාවක් බිඳ දැමීමට සමත්විය.
මෙවර තරගාවලියේදී වාර්තා 14ක් බිහි වූ අතර, ඉන් අවසන් දිනය වූ ඊයේ (17දා) දිනයේදී පමණක් තරග වාර්තා 04ක් අලුත් විය. එහිදී අවුරුදු 15න් පහළ පිරිමි මීටර් 200 ඉසව්ව තත්. 22.90කින් අවසන් කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ එස්.එම්. පෙරේරා සමත් වූ අතර, අවුරුදු 19 න් පහළ මීටර් 400 බාලිකා ඉසව්ව මිනිත්තු 1.02කින් අවසන් කිරීමට අඹගමුව මහා විද්‍යාලයේ ඩී.එම්. යමානි දුලංජලී සමත් වූවාය. මීට අමතරව මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන අවුරුදු 19න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්. 52.9 ක් වාර්තා කරමින්ද, යාපනය අරුණෝදය විදුහලේ කේ. නැප්තලි ජේසන් වයස 19න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්ව මීටර් 4.61කින් අවසන් කරමින්ද නව තරග වාර්තා බිහි කිරීමට සමත් වූහ.
තරගාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම් මහතා සහභාගි විය.
පාසල් මට්ටමේ සිට මෙරට ක්‍රීඩාව දියුණු කිරීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාව මගින් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරයි. එමෙන්ම මෙම තරගාවලිය ජාතික මට්ටමෙන් දින පහක් පැවැත්වෙන මෙරට එකම තරගාවලිය ලෙස සැලකේ.
තරගාවලිය අදියර 04කින් සමන්විත වූ අතර, ඉන් අදියර 03ක් යටතේ පැවැති මෙහි කණ්ඩායම් ක්‍රීඩා 27ක් උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා අවසන් කර සිවුවැනි අදියර මහනුවරදී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 2,684ක් හා ක්‍රීඩිකාවන් 2,437ක් වශයෙන් පාසල් 1452ක් නියෝජනය කරමින් තරගකරුවෝ ඉදිරිපත් වූහ.
ඕෂිත වරකපිටිය/ ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ (මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ සිට)