ශ්රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන නොමැතිවීම නවසීලන්තයේදී ක්රීඩා කිරීම විශාල පාඩුවක් බව නවසීලන්ත කඩුලු රකින ක්රීඩක බී.ජේ. වොට්ලින් සඳහන් කරයි.
ශ්රී ලංකාව හා නවසීලන්තය අතර අනිද්දා (26දා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් බවත් ඔවුන් තරමක් අසීරු බවත් වොට්ලින් පවසයි.
"ඒකාන්තයෙන්ම ඔවුන් පහසුවට ගත යුතු කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් එංගලන්තයේදී (ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය) ක්රීඩා කරපු ආකාරය දැක්කා. ඉතාමත් හොඳින් ඔවුන් ක්රීඩා කළා. ඔවුන් ශක්තිමත් කණ්ඩායමක්. නමුත් අපේ තත්ත්වයන් යටතේ ශ්රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් දෙන්න පුළුවන්" යැයි වොට්ලින් පවසයි.
"මහේල නැතුව ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණය තරමක් තරුණයි. ඒක ඔවුන්ට ලොකු පාඩුවක්. නමුත් ඔවුන්ට ඉදිරියට එන දක්ෂ තරුණ ක්රීඩකයන් ඉන්නවා. ඔවුන්ට නැගී සිටීමට මෙය අවස්ථාවක්. ඔවුන්ට ලෝක මට්ටමේ කුමාර් සංගක්කාර තවමත් ඉන්නවා" යනුවෙන්ද වොට්ලින් වැඩිදුරටත් සඳහන් කරයි.