ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මහතා බලයට පත්වීමෙන් පසු පවසා සිටි ප්‍රදාන කරුණක් වූයේ වත්මන් මලල ක්‍රීඩාව කඩාවැටී ඇති බව තමන් පිළි නොගන්නා බවයි. කෙසේ නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මට්ටම් මෙන්ම පුහුණුකරුවන්ගේ තාක්ෂණ අඩුපාඩු මත පසුගිය කාලයේ මලල ක්‍රීඩාවේ යම් පසුබෑමක් තිබූ බව ඔහු පිළිගනියි.
එමනිසා පුහුණුකරුවාද ක්‍රීඩකයා හා සමානව ඉහළට ගෙන පුහුණුකරුවාට මුල්තැනක් ලබාදී ඉදිරි දෙවසර තුළ මලල ක්‍රීඩාව නවමානයකට රැගෙනයන බව ඔහු පවසන අතර, මලල ක්‍රීඩා දෙවැනි පෙළ සංචිතය ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන බව පවසයි.
"මලල ක්‍රීඩා සංගමයට මුදල්ම නෙමෙයි අවශ්‍යය. මුදල් ඕනතරම් හොයාගන්න පුළුවන්. නමුත් ඊට පෙර අපෙන් ඈත්වෙලා තිබෙන සම්පත් ළංකරගත යුතුයි" යන්න සභාපතිවරයා වීමෙන් පසු ඔහු විශේෂයෙන් 'අද' පුවත්පතට අවධාරණය කළ කරුණක් විය.
මලල ක්‍රීඩාවේ හිණිපෙත්තටම ගිය තිලකරත්න මහතාට මලල ක්‍රීඩාව දියුණු කළ යුත්තේ කෙසේද කියා අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ. ඒ මහතා සභාපති තනතුරට තරග කළේද තමන් ලද අත්දැකීම් වත්මන් ක්‍රීඩකයන් හා බෙදාගෙන මලල ක්‍රීඩාව දියුණුකිරීමටය. කෙසේ නමුත් අවසන් වසර පහක පමණ කාලයක සිට කනිෂ්ඨ මලල ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් දක්නට ලැබුණද, ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩාවේ පසුබෑමක් තිබෙන බව නොරහසකි.
ආසියාව මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව එහි පසුපසට ගමන්කරන බවට තොරතුරු සැපයීමට ආසන්නතම උදාහරණය ලෙස ඉකුත්දා (07දා) චීනයේදී අවසන් වූ 21 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පෙන්වාදිය හැක. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකු පමණ සහභාගී වූ මෙම ශූරතාවලියේ ශ්‍රී ලංකාවට දිනාගත හැකිවූයේ එක් පදක්කමක් (ලෝකඩ) පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසියාවේ 16 වැනි ස්ථානය හිමිවූ අතර, එම පදක්කමද හිමි නොවන්න ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය කුමක්ද යන්න හෝ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අපට නොහැකි වේ.
සුසන්තිකා ජයසිංහ හා ඩන්කන් වයිට් හැරෙන්න මව්බිමෙන් ඔබ්බට මෙරට මලල ක්‍රීඩකයෝ වැඩි වශයෙන් දක්ෂතා දක්වා ඇති තරගාවලිය වන්නේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියයි. 1973 වසරේදී පිලිපීනයේදී පළමුවරට ආරම්භවන මෙම තරගාවලියේ (ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය) ශ්‍රී ලංකාවට පදක්කමක් ජයග්‍රහණය කිරීමට නොහැකි වන අතර, ඉන් අනතුරුව 1975 වසරේ දකුණු කොරියාවේ පැවැති දෙවැනි ශූරතාවලියේදී පදක්කමක් (ලෝකඩ) ජයග්‍රහණය කිරීමට හැකිවිය. නමුන් ඉන් අනතුරුව 1989 වර්ෂය දක්වා වසර 14 ක් (තරගාවලි 06) ගතවන තුරු එකඳු පදක්කමක් හෝ ශ්‍රී ලංකාවට හිමිනොවුණි.
1991 හා 1993 වර්ෂවලදී නැවතත් පදක්කම් ජයග්‍රහණය කළත්, පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නේ 1995 වසරේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියේදීය. ඒ මෙම තරගාවලිය ආරම්භ වී වසර 20කට පසුවය. සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්නගේ ආගමනය සිදුවන්නේ මෙම කාලයේ වන අතර, ඒ හේතුවෙන් (1995 වර්ෂයේ සිට) 2009 වර්ෂය දක්වා පැවැති සියලුම ශූරතාවලියන්හි (තරගාවලි 07) අවම එක් රන් පදක්කමක් හෝ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
2000 වර්ෂයේ ඉන්දුනීසියාවේ පැවැති ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 04 ක් ජයග්‍රහණය කළ අතර, එය එතෙක් මෙතෙක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක වැඩිම රන් පදක්කම් ජයග්‍රහණය කළ වර්ෂය විය. කෙසේ නමුත් ඉහත ක්‍රීඩක ක්රීඩිකාන්ගේ සමුගැනීමත් සමග 2011 හා 2013 වර්ෂයන්හි ශ්‍රී ලංකාව දිනූ පදක්කම් රිදී පදක්කම දක්වා පහළ ගිය අතර, මෙවර (2015) එය ලෝකඩ පදක්කමක් දක්වා පහළ ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක ක්‍රිකට් කිරුළ ජයගෙන ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත්තා මෙන්, මලල ක්‍රීඩා ලෝකයේ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය පළමු වරට හිමිවූයේ 1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඩන්කන් වයිට් රිදී පදක්කමක් (කඩුලු පැනීම) දිනාගැනීමෙනි. ඉන් අනතුරුව දශක කිහිපයක් ගතවනතුරු ශ්‍රී ලංකාව ගැන කථාබහක් ඇතිකළ හැකි ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් බිහි නොවූ අතර, නැවත මෙරටින් ඔලිම්පික් පදක්කම්ලාභියෙකු බිහිවීම සිහිනයක්ම වී තිබුණි. කෙසේ නමුත් අඩසිය වසක එම මතකයන් අකාමකා දමන්න ආසන්න වෙමින් තිබියදී සුසන්තිකා ජයසිංහ 2000 වර්ෂයේ සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කමක් (වත්මන් රිදී) ජයග්‍රහණය කිරීමට සමත්විය. කෙසේ නමුත් සුසන්තිකා එම පදක්කම ජයග්‍රහණය කර අදට වසර 15ක් ගත වී ඇත.
එමනිසා නැවතත් සුසන්තිකා, දර්ශා, ශ්‍රියානි හෝ සුගත් කෙනෙකු මෙරට මලල ක්‍රීඩාවට බිහිකිරීම මලල ක්‍රීඩා පරිපාලනයට වගකීමක් මෙන්ම යුතුකමක් වේ. නමුත් මලල ක්‍රීඩාවේ වාසනාවට පහළ වූ එවන් දක්ෂයෝ බිහිකිරීම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් වත්මන් සභාපතිවරයා ඉහත සිවු දෙනාගෙන් එක් අයෙකි. ඔහු (සුගත්) පවසන පරිදි මලල ක්‍රීඩාව කඩාවැටී නොමැති අතර, සිදුව ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මට්ටම් මෙන්ම පුහුණුකරුවන්ගේ තාක්ෂණ අඩුපාඩු නිසා මලල ක්‍රීඩාවේ යම් පසුබෑමකි. එමනිසා ඈත්වෙලා තිබෙන සම්පත් නැවත ළංකරගත යුතු බව ඔහු පවසයි. නමුත් ඉකුත්දා අවසන් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පිළිබඳව වත්මන් පරිපාලනය සුබවාදීව බලනවා නම් ඈත්වෙලා ගිය සම්පත් ළඟාකරගැනීමට අමුතුවෙන් පරිශ්‍රමයක් දැරිය යුතු නොවේ.
මෙම තරගාවලිය (ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය) නියෝජනය කළ ශ්‍රී ලංකා සංචිතයේ දක්ෂතා දැක්වූ එක් ක්‍රීඩිකාවකි මීටර 100 කාන්තා ඉසව්ව නියෝජනය කළ රුමේෂිකා රත්නායක. පදක්කමක් ජයග්‍රහණය කළ නොහැකි වුවත් රුමේෂිකා සුවිශේෂී වන්නේ පාසල් ක්‍රීඩිකාවක වන ඇය ආසියාවේ 06 වැනියා දක්වා සිය ඉසව්වේ ඉදිරියට පැමිණීමයි. සිය පෞද්ගලික හොඳම කාලය (11.56) මෙම තරගයේදී ඇය වාර්තා කළ අතර, එම කාලය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර 100 ඉසව්වේ හොඳම කාලය වාර්තා කර ඇති සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාගෙන් පසු ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය (තෙවැනි හොඳම කාලය) වේ. සුසන්තිකා ජයසිංහ මෙහි හොඳම කාලයට (ශ්‍රී ලංකා වාර්තාව/ තත්. 11.04) හිමිකම් කියයි.
මීටර 100 ඉසව්වේ නවතම සොයා ගැනීම වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ ඉගෙනුම ලබන රුමේෂිකා මීටර් 200 ඉසව්වේද දක්ෂයෙකි. පසුගිය මැයි මස දියගමදී පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවුරුදු 20 පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය සම්මාන ලැබූ අතර, ඒ සඳහා පාදක වූ ප්‍රධාන කරුණ වූයේ ඇය මීටර 200 හා 100 ඉසව්හි නව තරග වාර්තා දෙකක් පිහිටුවීමයි. 18 හැවිරිදි රුමේෂිකා එලෙස බිඳහෙලනු ලැබුවේ වසර 22කට පෙර 1993 වසරේදී දමයන්ති දර්ශා එම ඉසව් දෙකේ පිහිටුවා තිබූ ද්විත්ව වාර්තාය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා 100x4 සහාය දිවීමේ කණ්ඩායමද 11 වසරක ජාතික වාර්තාව (තත්. 39.71) බිඳහෙළීමට සමත්විය. යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ එම කණ්ඩායමට හිමාෂ ඒශාන්, ශෙහාන් අඹේපිටිය, විනෝජ් මුතුමුණි හා මොහොමඩ් අබ්දුල් ඇතුළත් වූහ. ශ්‍රී ලංකාව මෙම තරගයේ සිවුවැනියා ලෙස තරගය අවසන් කළ අතර, ඒ සඳහා ඔවුහු තත්. 39.38 ක කාලයක් ගතකළහ. ඔවුන්ට ලෝකඩ පදක්කම ගිලිහී ගියේ තත්. 0.03 පරතරයකිනි. එමනිසා තවදුරටත් ඔවුන් පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ පදක්කම් බලාපොරොත්තු තැබූ උස පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ වූ මංජුල කුමාර තරගය අවසන් කළේ 06 වැනියා ලෙසය. ඔහු මෙම තරගයේදී මීටර 2.20 ක උසක් තරණය කළේය. දශකයකට අධික කලක සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන මංජුල වත්මන් ශ්‍රී ලංකා මෙන්ම, දකුණු ආසියානු උස පැනීමේ වාර්තාවන්ට හිමිකම් කියයි.
ජාතික උසපැනීමේ වාර්තාව මංජුල මීටර 2.27 කින් පිහිටුවා ඇත. දෙවතාවකදී මෙම උස තරණය කර ඇති මංජුල අවසන් වරට 2005 වර්ෂයේදී ඔහුගේම වාර්තාව සමකර ඇත. ඊට අමතරව දකුණු ආසියානු උසපැනීමේ වාර්තාව ඔහු මීටර 2.20 කින් එම වාර්තාව පිහිටුවා ඇත. නමුත් මෙම වාර්තා සියල්ල ඔහු පිහිටුවා ඇත්තේ මීට වසර 10 කට පෙරය. එමනිසා මෙහි අවධානය යොමුකළ යුතු කරුණ නම් දශකයකට අධික කාලයක සිට ක්‍රීඩාවේ රැඳී සිටින මංජුලට අභියෝගයක් කළහැකි ක්‍රීඩකයෙකු බිහිනොවූවේ ඇයිද යන්නයි. එසේ වූවානම් මංජුලගේ දක්ෂතාද මීට වඩා ඉහළ යාමට ඉඩ තිබුණි.
"අපි ක්‍රීඩාකරන කාලයෙත් දෙවැනි පෙළක් හිටියා. නමුත් අවාසනාවකට ඔවුන් අපි ආරක්ෂා කරගත්තෙ නැහැ" වත්මන් සභාපතිවරයාගේ අදහසයි. ඔහු පවසන්නේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කර අත්දැකීම් නොතිබුණාට ක්‍රීඩා ක්ෂේත්රයේ වෙන්නේ මොනවද කියා හොඳ අත්දැකීමක් තමන්ට තිබෙන බවයි. ක්‍රීඩකයන්ට පුහුණුකරුවන්ට අවශ්‍ය දේ, පුහුණුකරුවාගේ භූමිකාව, ජාතික තරගාවලියක සිදුවන්නේ මොනවද, අනුග්රාහකයෝ සොයාගන්නේ කොහොමද, විශේෂයෙන් මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද හා මාධ්‍යයෙන් ගන්න පුළුවන් දේ මොනවද යන සෑම අංශයක් පිළිබඳවම දැනුම තිබෙන බව ඔහු පවසයි. එසේනම් මලල ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ඉදිරි වසර දෙක පරිපාලනය කරගන්නේ කෙසේදැයි අපි බලා සිටිමු.