මෙතෙක් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනෙකුට පමණක් හිමිකර ගැනීමට හැකිවූ ඔලිම්පික් මට්ටමේ ජයග්‍රහණයක් සමගින් ලක් මාතාවට ගෞරවයක් ගෙන ඒමට අනුරාධපුර, ඉපලෝගම, කාගම, 5 ඇළ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් ප්‍රියන්තට හැකි විය. ඔහු ක්‍රියාන්විත රාජකාරීයේ යෙදී සිටියදී ආබාධයකට ලක්වූ අයෙකි.2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම හෙල්ල විසි කිරීමෙන් දිනාදීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය. එෆ් - 46 කාණ්ඩය නියෝජනය කළ දිනේෂ් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවද පෙන්වමින් මීටර 58.23 ක දුරකට හෙල්ල විසි කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කළේ පදක්කම් සටහනේ 75 වැනි ස්ථානය දිනා ගනිමිනි.
1986 වර්ෂයේ ජූලි මස 15 වැනි දින මෙලොව එළිය දුටු හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් දරු තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවායි. දිනේෂ්ට අවුරුදු 05ක් වනවිට සිය පියා මෙලොවින් සමුගත් බැවින් දිනේෂ් ඇතුළු පවුලේ අයට දහසකුත් අගහිඟකම් මැද ඉදිරියට යන්නට සිදුවිය. දිනේෂ්ගේ මවගේ කැපවීම මත හා ඥාතීන්ගෙන් ලද උපකාර මත කාගම ධාතුසේන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දිනේෂ් සාමාන්‍ය පෙළට මුහුණදීමෙන් අනතුරුව 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන ගජබා රෙජිමේන්තුව හා එක්වේ.
යුද හමුදා සේවයට බැඳුණු දිනේෂ් ගමේ කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. හෙතෙම 2008 වර්ෂයේ අප්‍රේල් මස 02 වැනිදා විවාහ වූ අතර, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී කිලිනොච්චිය ප්‍ර‘දේශයේදී එල්ල වූ ත්රස්ත්රවාදී ප්‍රහාරයක් හේතුවෙන් දකුණු අත අප්‍රාණික වී තිබේ.අනතුරුව සේනපුර යුද හමුදා කඳවුරේදී ක්‍රීඩාවට යොමුවූ දිනේෂ්ගේ දක්ෂතා දුටු යුද හමුදා නිලධාරීන් ඔහු සාලියපුර කඳවුරට අනුයුක්ත කර පූර්ණකාලීනව ක්‍රීඩා කටයුතුවලට යොමු කරනුයේ ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළු ඔහුට අවශ්‍ය පහසුකම්ද සපයමිනි.
රටට පැරාලිම්පික් පදක්කමක් දිනාදුන් දිනේෂ් පිළිබඳ තොරතුරු සොයා අපි ඉපලෝගම, කාගම, 5 ඇළ පිහිටි දිනේෂ්ගේ නිවසට ගොඩ වැදුණෙමු.
සිය පුතු පිළිබඳව අදහස් දැක්වූ වයි.එම්. කරුණාවතී මහත්මිය,
"දිනේෂ් ලබාගත් ජයග්‍රහණය ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මගේ දරුවා ගැන අද මුළු ලෝකයක් කතා කරනවා. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ සතුට කියලා නිම කරන්න බෑ. දිනේෂ්ට වයස අවුරුදු 05දී තමයි එයාගේ තාත්තා නැති වෙන්නේ. මම ගොඩාක් දුක් මහන්සි වෙලා දිනේෂ්ට ඉගැන්නුවා. සාමාන්‍ය පෙළින් පස්සේ 2004 වර්ෂයේ එයා යුද හමුදාවට එකතු වුණා. 2008 වර්ෂයේදී යුද්ධයේදී වෙඩි වැදුණා. ඒ වෙලාවේ අපිට ලොකු දුකක් දැනුණා. මොකද ඒ වෙඩි ප්‍රහාරය නිසා මගේ පුතාගේ දකුණු අත අප්‍රාණික වුණා. ඊට පස්සෙ තමයි පුතා ක්‍රීඩාවට යොමු වුණේ. එයා හෙල්ල විසිකිරීම, යගුලිය විසිකිරීම ආදී ක්‍රීඩා කිහිපයකට යොමු වුණා. ඒ අතරින් හෙල්ල විසි කිරීමට විශේෂ දක්ෂතා දක්වපු නිසා හෙල්ල විසිකීරීමේ ඉසව්ව නියෝජනය කරමින් රියෝ පැරාලිම්පික් උලෙළට සහභාගි වෙන්න ලැබුණා. ඉතින් පුතා ලබපු ජයග්‍රහණය ගැන මට ලොකු සතුටක් තියෙනවා" යනුවෙන් පැවසුවාය.
සිය සැමියා පිළිබඳව අදහස් දැක්වූ දිනේෂ් ප්‍රියන්තගේ බිරිඳ වන ඉසංකා මධුවන්ති,
"මට ලොකු සතුටක් තියෙන්නේ, මගේ මහත්තයා රියෝ පැරාලිම්පික් උලෙළේදී පදක්කමක් ලබා ගැනීම ගැන. එයා රට වෙනුවෙන් කැපවීම් කරපු යුද හමුදා සෙබළෙක්. එයාව ක්‍රීඩාවට යොමු කළ උසස් හමුදා නිලධාරීන්ටත් අවශ්‍ය සියලු පහසුකම් සැපයූ නිලධාරීන්ට පළමුව ස්තුතිවන්ත විය යුතුයි. ඒ නිලධාරීන් නිසා තමයි මගේ මහත්තයාට මේ රට වෙනුවෙන් සම්මානයක් ගේන්න පුළුවන් වුණේ. 2008 වර්ෂයේ නොවැම්බර් මාසයේ එයාට වෙඩි වැදුණා. එයා වෙඩි වැදුණා කියලා මට කිවුවේ නෑ, මම බය වෙයි කියලා. මට ඒ ආරංචිය එද්දි ලොකු දුකක් දැනුණා. ඒ වගේම අද දවසේ මම ගොඩාක් සතුටු වෙනවා එයා ලබපු ලොකු ජයග්‍රහණය ගැන. අපි දෙන්නට දරු දෙන්නෙක් ඉන්නවා. පාසල් කාලේදී එයා ක්‍රීඩාවට යොමු වෙලා හිටියේ නෑ.
ත්‍රස්ත ප්‍රහාරයට ලක් වුණාට පස්සේ තමයි එයා ක්‍රීඩාවට යොමු වුණේ. දිනේෂ් මැලේසියාවේ තිබුණු තරගාවලියකින් හෙල්ල, යගුලිය විසිකිරීමේ ඉසව්වලින් පළමු හා දෙවැනි තැන ලබා ගත්තා. කටාර්, කොරියාවේ පැවැත්වුණු තරගවලටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් සහභාගි වුණා. ජූලි මාසයේ ජර්මන් ගියා. ඒ තරගාවලියේ දෙවැනි තැන ගත්තා. කටාර්වලදී ආසියානු තරගාවලියේ 06 වැනි තැන අරගත්තා. ඒ තරගාවලියෙන් පස්සේ එයාට පැරාලිම්පික් තරගාවලියට යන්න ආසාවක් ඇති වුණා. ඒ නිසාම පැරාලිම්පික් වෙනුවෙන් එයා ගොඩාක් කැපකිරීම් කරලා මහන්සි වුණා. පදක්කම ලබාගත් ගමන්ම එයා අපිට දුරකථනයෙන් කතා කළා. ඒ වෙලාවේ කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා." යනුවෙන් පැවසුවාය.
ආර්ථික හෝ වෙනත් බාධක හමුවේ ජීවන ගමනේ ඇදවැටෙන මිනිසුන්ට දිනේෂ්ගේ උත්සාහය සපයන්නේ මහඟු ආදර්ශයකි. යුද්ධයේදී ආබාධයට ලක් වුවත් ක්‍රීඩාවෙන් තම හැකියාවන් උපරිමව පෙන්වූ දිනේෂ් ඔලිම්පික් තරගාවලියට ගිය සියලු ක්‍රීඩකයන්ට මහඟු ආදර්ශයකි.