කොළඹ රාජකීය හා මහනුවර ත්‍රිත්ව විදුහල් අතර 71 වැනි බ්‍රැඩ්බි පළිහ සඳහා පැවැත්වෙන තරග ද්විත්වයේ තීරණාත්මක දෙවැනි අදියර හෙට (23දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකිර්ණ පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ පාසල් දෙකක් අතර ශූරතාවක් වෙනුවෙන් පැවැත්වෙන පැරණිතම වාර්ෂික රග්බි තරගය මෙය බව පැවැසෙයි.
මෙහි අදියර ද්විත්වයේදීම කණ්ඩායම් දෙක ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුව ශූරතාව හිමි කර ගන්නා කණ්ඩායම තීරණය වේ. මෙහි පළමු තරගය ජයගත් රාජකීය විද්‍යාලය ලකුණු 23-22 ක් ලෙස ජයගැනීම නිසා ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවේ. ත්‍රිත්ව විදුහල මේ වනවිට වසර 4ක් (2011, 2012, 2013, 2014) මෙම පළිහ තමන් සන්තකයේ තබා ගැනීමට සමත්ව ඇත. එමෙන්ම පළමු තරගයේ ජයග්‍රහණය රාජකීය විදුහල වෙත හිමි වූයේ එක් ලකුණක වෙනසකින් නිසා හෙට පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වේ.
මෙම කණ්ඩායම් දෙකම සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර, එහි තමන් සහභාගි වූ තරග 5 න් 4 ක් ජය ගත් රාජකීය විද්‍යාලය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියේ පසුවෙයි. තමන් සහභාගී වූ තරග 5 න් 4 ක් ජයගත් ත්‍රිත්ව විදුහල එහි දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත.