සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර චිතගොංහිදී ඊයේ (12දා) රාත්‍රියේ පැවැති දෙරට අතර තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 2-1 ක් ලෙස තරගාවලිය ජයගැනීමටද එංගලන්තයට හැකිවිය.
මෙම පරාජයත් සමග නොකඩවා තරගාවලි 05ක් ජයගෙන අපරාජිත තරගාවලි ජයග්‍රහණය වාර්තාවක් තබමින් සිටි බංග්ලාදේශයේ එම බලාපොරොත්තු බිඳවැටිණි. බංග්ලාදේශය අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මස සිට පාකිස්තානය (3-0), ඉන්දියාව (2-1), දකුණු අප්‍රිකාව (2-1), සිම්බාබ්වේ (3-0) හා අවසන් වරට ඇෆ්ගනිස්තානය (2-1) පරාජය කිරීමෙන් පසු මේ දක්වා කිසිදු තරගාවලියක් පරාජය වී නොතිබිණි.
දිවාරාත්‍රී තරගයක් ලෙස සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 06ක් දැවී ලකුණු 277ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 278ක තරමක් අසීරු ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ කඩුලු 06ක් පමණක් වැයකරමින් පන්දු 13ක් ඉතිරිකර ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත්වූහ.
තරගයේ වීරයා ලෙස ආදිල් රශීද් සම්මාන දිනාගත් අතර, තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් තරගාවලිය තුළ ලකුණු 148ක් හා කඩුලු 02ක් දවාලූ බෙන් ස්ටෝක්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.