සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය සඳහා පිටියට පිවිසේ. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද (11දා) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ කාල සටහන අනුව තරගය හෙට (12දා) පැවැත්වීමට නියමිතව තිබුණද අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙටට (12දා) යෙදී ඇති හෙයින් තරගය එක් දිනකින් ඉදිරියට ගෙනඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, අද පැවැත්වෙන විස්සයි20 තරගයද ජයගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් විස්සයි20 තරගාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නා අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ තරගාවලි හරහා ජයක් වාර්තා කිරීම සඳහා අවස්ථාව ලැබේ.
පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු විස්සයි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංශ තුනම ඉහළ ස්ථානයක පැවැති අතර, ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම එම දක්ෂතාව පෙන්වීම අතිශයෝක්තියක් නොවේ.එම තරගයේදී පන්දුවට පහරදුන් පිතිකරුවන් පස්දෙනාම හොඳින් දක්ෂතා දැක්වූ අතර දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22ක් තුළදී වේගවත් ලකුණු 60ක නොබිඳුණු සබඳතාව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215ක් කරා ගමන් කරවීය.
එවැනි ආකාරයක දක්ෂතාවක් අද තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වුවහොත් තරගය පහසුවෙන්ම ජයගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙනු ඇත. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවීමට ඇත්තේ අවම ඉඩක් වන අතර, නුවන් කුලසේකරට තවමත් දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම කණ්ඩායමට තිබෙන අවාසියයි. කෙසේ වෙතත් කුලසේකරට විස්සයි20 ජාත්‍යන්තර තරගයක් ලැබුණේ වසරකටත් වැඩි කාලයකින් බැවින් අද තරගයේදීත් ඔහුට කණ්ඩායමේ ස්ථානය හිමිවිය යුතු බව අපගේ හැඟීමයි.
පළමු තරගයේදී මෙන් මෙම තරගයේදීත් කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඩ්, ඩ්වේන් බ්රාවෝ හා ඩැරන් සැමී පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි.
කොදෙව් සංචිතය - ඩැරන් සාමි (නායක), දේවෙන්ද්‍ර බිෂෝ, ඩ්වේන් බ්රාවෝ, ජොනතන් කාටර්, ඩැරන් බ්රාවෝ, ජොන්සන් චාල්ස්, ජේසන් හෝල්ඩර්, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්, සුනිල් නාරීන්, කිරන් පොලාඩ්, දිනේෂ් රාම්දීන්, ඇන්ඩ්‍රේ රසල්, මාලන් සැමුවෙල්ස්, ජෙරෝම් ටේලර්
ශ්‍රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක, තිසර පෙරේරා
ඡායාරූපය ශාන්ත රත්නායක