ජගත් ක්‍රිකට් පිටියේ කලින් කලට පිය-පුතු සබඳතා පිළිබඳ විවිධ පුවත් වාර්තා වෙයි. එවැනි පුවතක් මේ දිනවල දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි. දකුණු අප්‍රිකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගැනීමට 33 හැවිරිදි ස්ටීවන් කුක් සමත්විය. ඔහු දකුණු අප්‍රිකානු ටෙස්ට් හිස්වැස්ම පැලඳි 325 වැනි ක්‍රීඩකයාය. සුපර්ස්පොර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භක පිතිකරු වූ ස්ටීවන් කුක් සිය පළමු තරගයේදීම ලකුණු 115 ක් රැස්කිරීමට සමත්විය. ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ පළමු තරගයේදී ශතකයක් රැස්කළ 102 වැනි පිතිකරුවා මෙන්ම එවැනි දස්කමක් දැක්වූ 06 වැනි දකුණු අප්‍රිකානුවා ස්ටීවන් කුක් වේ.
මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ මීට වසර 23කට ඉහතදී, එනම් 1992 වසරේ නොවැම්බර් මස ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිදුකළ තරග සංචාරයේ පළමු තරගයේදී මෙලෙසින්ම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ස්ටීවන් කුක්ගේ පියා වන ජිමී කුක්ට අවස්ථාව උදාවීමයි. කෙසේ නමුත් 39 වැනි වියේදී එරට වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 247 වැනි ක්‍රීඩකයා වූ ජිමී කුක්ට අද පුතා කළ දස්කම එදින ඔහුට සිදුකිරීමට නොහැකිවිය. ජිමී කුක්ද පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස ඉනිම ඇරඹූ අතර, පළමු පන්දුවෙන්ම ඔහුට ලකුණු නොලබා පිටියෙන් ඉවත්යාමට සිදුවිය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පිතිකරුවෙකු පළමු පන්දුවෙන්ම දැවී ගිය පළමු අවස්ථාව ලෙසින් එය ඉතිහාසයට එක්විය. කපිල් දේව්ගේ පන්දුවක් හමුවේ සචින් තෙන්ඩුල්කාර්ට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.
මෙම තරගයේ ඇති සුවිශේෂීතාව වන්නේ වර්ණභේදය හේතුවෙන් 1970 වසරේ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එය නැවත 1992 වසරේ ඉවත් කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරගය වීමයි.
කෙසේ නමුත් ජිමී කුක්ගේ ටෙස්ට් දිවියට වැඩි ආයුෂක් නොතිබූ අතර, ටෙස්ට් තරග තුනකට පමණක් ක්‍රීඩාකර ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගත්තේද ශ්‍රී ලංකාව සමග මොරටුවේ පැවැති තරගයකදීය.
දකුණු අප්‍රිකානු පළමු පෙළ තරග 165 (ඉනිම් 306) කට ක්‍රීඩාකර ඇති ස්ටීවන් කුක් ලකුණු 11427 ක් රැස්කර ඇති අතර, ඒ අතර ශතක 35 ක් හා අර්ධ ශතක 45 අන්තර්ගතව ඇත. දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරග කාර්තු 15කට වඩා ක්‍රීඩා කර ඇති ස්ටීවන් 2009 වසරේදී වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 390ක් රැස්කිරීමට සමත්ව තිබෙන අතර, එය දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරගවලදී වාර්තා වී ඇති ඉහළම ලකුණු ප්‍රමාණය වෙයි.
ජිමී කුක්ට 39 වැනි වියේදී ටෙස්ට් වරම් හිමිකරගන්නා තෙක් දිගුකාලයක් බලාසිටීමට සිදුවිය. ඔහුගේ පුත් ස්ටීන්වද දකුණු අප්‍රිකානු ටෙස්ට් හිස් ආවරණය පළඳින්නේ වසර 33ක් බලාසිටීමෙන් අනතුරුවය. ක්‍රිකට් පිටියේ සිය පළමු ඉනිම ජිමීට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් සිට අවසන් කිරීමට ස්ටීවන් සමත් විය. ස්ටීවන්ගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ එදා ක්‍රිකට් පිටියේදී අසාර්ථක වූ ඔහුගේ පියා වන ජිමී වෙයි. ජිමී කුක් මේ වන විට 65 වැනි වියේ පසුවන අතර, ස්ටීවන් කුක්ගේ උපදේශකයා ලෙසද ඔහු කටයුතු කරයි. දකුණු අප්‍රිකා - එංගලන්ත ටෙස්ට් තරගය අදින් (26දා) අවසන් වෙයි.