ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වීමට නියමිතය. සිම්බාබ්වේ සමග පැවැති පළමු තරගය පහසුවෙන් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, අද පැවැත්වෙන තරගය පහසුවෙන් ජයගත හැකි යැයි උපකල්පනය කිරීමේ වරද නොකළ යුතුය.
හරාරේ තණතීරුව පළමු පැය කිහිපය වේගපන්දු යවන්නන්ට උචිත ස්වභාවයක් දිස්වීම ඊට හේතුවයි. විශේෂයෙන් කොදෙව්වන් සතුව පළපුරුදු, එමෙන්ම කඩුලු අතර සිටින වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකුම සිටින හෙයින් කොදෙව් වේගපන්දුව ඉදිරියේ කඩුලු ආරක්ෂා කරගැනීමට
ශ්‍රී ලංකා පිතිකරුවන් වගබලාගත යුතුය.
සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සිය උපරිමය කණ්ඩායමට ලබාදුන් අතර, පිතිකරුවෝද සිය වගකීම මැනවින් ඉටු කළහ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමි නොවුණද, අද තරගයේදී පසුපෙළ පිතිකරුවන් ඒ සඳහා සූදානමින් පසුවීම වැදගත්ය.
ධනංජය ද සිල්වා තමන්ට හිමිවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තිලකරත්න ඩිල්ෂාන්ගෙන් හිස්වූ ආරම්භක පිතිකරුවා සඳහා තමන් සුදුස්සෙකු බව ක්‍රමක්‍රමයෙන් ඔප්පු කරමින් සිටියි. එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයකි.
සිම්බාබ්වේ තරගයේදී පිතිකරණයේ නියැළීමට අවස්ථාව නොලද නායක උපුල් තරංග, අසේල ගුණරත්න, ශෙහාන් ජයසූරිය අද තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිවුවහොත් එය අපතේ නොයැවිය යුතුය. විශේෂයෙන්ම උපුල් තරංග නායකයෙකු ලෙස සාර්ථක වෙමින් පිතිකරුවෙකු ලෙසද සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත ක්‍රිකට්වලට හොඳ පෙරනිමිත්තකි.
බොහෝ විට අද තරගයට සිම්බාබ්වෙ සමග ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතියි. අසේල ගුණරත්න යනු කල්ගතවී හෝ ජාතික කණ්ඩායමට පැමිණි දක්ෂ ක්‍රීඩකයෙක් බව මේ වනවිට ඔප්පු කර තිබේ. එහෙත් දිගින් දිගටම දක්ෂතා පවත්වාගෙන යාමට අසේල වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් සමන් ජයන්ත වැනි තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට අත්වූ ඉරණම අසේලටද අත්වීම වැළැක්විය නොහැකිය.
කොදෙව් කණ්ඩායමේ ප්රබලතම පිතිකරුවන් වූ ක්‍රිස් ගේල්, කිරන් පොලාඩ්, ඩැරන් බ්රාවෝ හා ඩ්වෙන් බ්රාවෝ මෙම තරගාවලියට සහභාගි නොවීම කොදෙව් කණ්ඩායමට බරපතළ පාඩුවකි. නමුත් නවක ක්‍රීඩකයන් වන ශායි හෝප් හා ශේන් ඩව්රිච්ගෙන් ශ්‍රී ලංකාව පරෙස්සම් විය යුතුයි. තවද ජොනතන් කාටර්, ජොන්සන් චාල්ස්, ක්‍රේග් බ්‍රැත්වේට්, කාලෝස් බ්‍රැත්වේට් හා ජේසන් හෝල්ඩර් ඕනෑම අවස්ථාවක ලකුණු අතරට පැමිණිය හැකි ක්‍රීඩකයන් හෙයින් ඔවුනට පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදිය යුතුය.
කොදෙව් පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාවට හිසරදයක් වේවි යැයි උපකල්පනය කළ හැකිවනුයේ සුනිල් නාරින්ගේ දඟපන්දුවයි. එනිසා නාරින්ට ආරක්ෂාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කර, අනෙක් පන්දුයවන්නන් ආක්‍රමණය කරමින් ශ්‍රී ලංකාවට අද තරගයේ වැඩි වාසි අත්කරගත හැකිය. එහෙත් හෝල්ඩර්, බ්‍රැත්වේට්, ගේබ්‍රියල් යන වේගපන්දු යවන්නන්ගේ වේගය, ඉපිල්ලීම හා දෝලනය ශ්‍රී ලංකා පිතිකරුවන් හරිහැටි අවබෝධ කර නොගතහොත් මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල කොදෙව්වන් හමුවේ පවතින පරාජිතභාවය අවසන් කිරීමට නොහැකිවනවා සේම, එය තවදුරටත් දීර්ඝ වනවාද නොඅනුමානයි.
අද (16දා) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00 ට හරාරේ ක්‍රීඩාංගණයේදී අාරම්භ වීමට නියමිතය.