එංගලන්තය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට අද (21දා) නොටිංහැම්හිදී මුහුණ දේ. ටෙස්ට් තරගාවලියෙන් පසුව අර්යලන්තය සමග පැවැති එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් ආධුනිකයන් වන අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුව තිබූ තරග දෙකකි. එබැවින් අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම දීර්ඝ තරග සංචාරය ගැන තවමත් සෑහීමකට පත්විය නොහැකිය. එංගලන්තය සමග එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ පුහුණු තරග දෙකක් ලැබුණු බව සඳහන් කළ යුතුමය. එහෙයින් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට මැසිවිලි නගන්නට අවස්ථාවක් නොමැත. ඉතිරිව ඇත්තේ දස්කම් දැක්වීම පමණි.
එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලියට පෙර කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ද දක්ෂතා දැක්වීමට සමත්වූහ. එය ශ්‍රී ලංකා කණ්ඩාමට හිතකර තත්ත්වයකි. අත්දැකීම් සහිත එංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ලවන පීඩනය පාලනය කරගැනීම අයර්ලන්ත පන්දු යවන්නන් පාලනය කරගත් පරිදි හිතන තරම් පහසු නොමැත.
අද පැවැත්වෙන පළමු එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සංයුතියේ වෙනසක්වීමට ඇති අවස්ථාව විරළ බැවින් ඉහතින් සඳහන් කළ පිතිකරුවන් අතරින් එක් පිතිකරුවෙකුවත් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ යුතුය. විශේෂයෙන්ම පිටියේ ස්ථාවර වන පිතිකරුවා තරගය අවසන් වනතුරු පිටියේ රැඳී සිටින්නේ නම්, එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර තත්ත්වයකි. එසේ නොවන්නට එංගලන්ත කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීම අපහසුය.
අද තරගයේ දී පිතිකරණ සංයුතියේ වෙනසක් වන්නේ නම් ඒ උපුල් තරංගගේ ස්ථානය විය හැකිය. දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට සිය හැකියා ඉදිරිපත් කිරීමට සෑහීමකට පත්විය හැකි මට්ටමේ අවස්ථා ලබා දිය යුතුය. එහෙත් එවැනි අවස්ථා ලබානොදී බංකුවේ තැබීමට පමණක් නොව, කණ්ඩායමෙන් ඉවත් කිරීමට පවා වර්තමාන තේරීම් කමිටුව සහ නායකයා කටයුතු කරන බැවින් අද තරගයේදී උපුල්ගේ ස්ථානය අහිමි වුවද එය පුදුමයක් නොවේ.
ඒ ශ්‍රී ලංකාවේ හැටිය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මුහුණ දුන් නවසීලන්ත තරග සංචාරයේ පිතිකරුවෙකු ලෙසින් එක්දින තරගාවලියේදී දක්ෂතා දැක්වූ මිලින්දට සිදුව ඇත්තේ එය නොවේද?. මිලින්දට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම පුදුමය දනවන තීරණයකි. එහෙයින් උපුල්ගේ ස්ථානයට ළහිරු කැඳවීමට අවස්ථාවක් නැතුවාම නොවේ. කෙසේ වෙතත් ළහිරු එක්දින පිතිකරුවෙකු ලෙසින් අවසන් වරට මුහුණ දුන් එක්දින තරගාවලියේදී සෙසු පිතිකරුවන්ට සාපේක්ෂව යම් සාර්ථකත්වයක් ඉදිරිපත් කළ පිතිකරුවෙකු බවද සඳහන් කළ යුතුය.
එංගලන්ත පිතිකරණ සංයුතිය ඕනෑම ඉලක්කයක් කරා පහසුවෙන් ගමන් කළ හැකි පිතිකරුවන්ගෙන් සමන්විත බැවින්, ඔවුන් පාලනය කරගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තවද අයර්ලන්ත පිතිකරුවන් පාලනය කරගත් පරිදි එංගලන්ත පිතිකරුවන් පාලනය කරගැනීම පහසු නොවන බැවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් සැලැස්මකට අනුව පන්දු යැවීමට වගබලා ගත යුතුය.
විශේෂයෙන්ම ජෝ රූට්, ඉයන් මෝගන්, ජෝස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස් සහ ජෝනි බෙයාස්ටෝව් වැනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි කතාබහට ලක්වූ පිතිකරුවන් එංගලන්ත කණ්ඩායම සතු බැවින් එය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයකි. ශමින්ද එරංග මේ වනවිට තාවකාලික තහනමකට ලක්ව සිටින බැවින් ඔහුගේ ස්ථානය බොහෝ දුරට නුවන් ප්‍රදීප්ට හිමිවනු ඇත. කෙසේ වෙතත් මැතිව්ස්, දසුන් සහ මහරුෆ් (අද තරගයට ක්‍රීඩා කරන්නේ නම්) යන තිදෙනාම එකම ආකාරයේ පන්දු යවන්නන් බැවින් එය එංගලන්ත කණ්ඩායමට වාසියකි.
එහෙයින් ප්‍රසන්නගේ සහායට රන්දිව් කැඳවන්නේ නම් පන්දු යැවීමේ සංයුතියේ අවශ්‍ය වෙනස ලබාගත හැකියැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙත් ගැටලුව වන්නේ රන්දිව් කණ්ඩායමට කැඳවන්නේ නම් ඒ කවුරුන් වෙනුවටද යන්නයි. එබැවින් කණ්ඩායම සමබර කරගැනීමේ ගැටලුවක්ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් අයර්ලන්තය සමග පැවැති තරග දෙකම ජයග්‍රහණය කළ බැවින් නුවන් ප්‍රදීප් පමණක් කණ්ඩායමට කැඳවා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද (21දා) ප.ව. 6.30ට (මෙරට වේලාවෙන්) ආරම්භ වේ.