කළම්බු බ්ලූස් 27 කැන්ඩි රෙඩ්ස් 24
නොකඩවා තෙවැනි වරටත් 'ද පපරේ ඕල් ස්ටාර් රග්බි කිරුළ' තමන් සතු කරගැනීමට කොළඹ පාසල් ඒකාබද්ධ කණ්ඩායම (කළම්බු බ්ලූස්) කණ්ඩායම සමත් විය. ඒ මහනුවර පාසල් ඒකාබද්ධ කණ්ඩායම (කැන්ඩි රෙඩ්ස්) සමගින් පැවැති තරගයෙන් ලකුණු 27 - 24 ක ජයක් ලබමිනි. මෙම තරග අවසන් වරට 2010 හා 2011 වර්ෂවල පවත්වා ඇති අතර, එහි ශුරතාව හිමිකරගත්තේ කළම්බු බ්ලූස් කණ්ඩායමයි. මෙවර තරගාවලිය පැවැත්වූයේ වසර දෙකක නිහැඬියාවකින් පසුවය.
කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පසුගියදා (26දා) පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වනවිට කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙමින් ලකුණු 19 - 19 ක් ලෙස සම තත්වයේ පසුවිය.
නමුත් දෙවැනි අර්ධයේදීද කණ්ඩායම් දෙකම සිය ජයග්රහණය වෙනුවෙන් තියුණු සටනක් ගෙන ගියද, කළම්බු බ්ලූස් කණ්ඩායම එහිදී සිය ක්රීඩා රටාව මැනවින් විදහා දක්වමින් ලකුණු 8ක් රැස් කළ අතර මහනුවර රෙඩ්ස් කණ්ඩායමට එම අර්ධයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 05ක් පමණි.
මේ අතර 'ද පපරේ' විසින් සංවිධානය කරනු ලැබූ වසරේ ජනප්රියම පාසල් රග්බි ක්රීඩකයා සම්මානය හිමිකර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ නායක අසේල විජේසිංහ සමත්විය.
ඡායාරූප - චානුක කුලසේකර