පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් විශේෂ ඉරියව් පරීක්ෂාවක් සඳහා ඉන්දියාව බලා අද (13දා) සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
චෙන්නායිහි රාමචන්ද්‍ර විශ්වවිද්‍යාලයේදී මෙම පරීක්ෂණ කටයුතු සිඳුවන අතර, ඒ සඳහා තරිඳු හෙට (14දා) උදෑසන 10.00 පමණ පෙනී සිටීමට නියමිතව ඇත. තරිඳුට අමතරව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වැඩබලන පුහුණුකරු ජෙරම් ජයරත්න සහ දඟපන්දු යැවීම් පුහුණුකරු පියල් විජේතුංග යන අයද මේ සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.
ඉන්දීය කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනාවට ලක්වූ අතර, ඒ හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් දින 14 ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයක් සඳහා ඔහුව යොමුකරවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියේය.
තරිඳු යවන දුෂ්රා පන්දු කිහිපයක් සම්මත අංශක 15 සීමාව ඉක්මවා යන බවට චෝදනා එල්ල විය. මෙම පරීක්ෂණයේ වාර්තාව සති දෙකක් කාලයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන අතර, පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වුවහොත් යළි සුපුරුදු පරිදි අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට තරිඳුට අවස්ථාව හිමිවනු ඇත. කෙසේ නමුත් ඔහුගේ පන්දු යැවීම නිවැරැදි නොවන බව තහවුරු වුවහොත් ඉරියව්ව නැවත නිවැරැදි කරගන්න තුරු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පන්දු යැවීමේ තහනමකට තරිඳු ලක්වන අතර, ඒ හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන කොදෙව් ටෙස්ට් තරගාවලියට ඔහුට අහිමි වනු ඇත.