ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරුවල තව දුරටත් රැදී සිටීමේ කැමැත්තක් තමන් සතුව නොමැති බවත්, එමනිසා නැවත ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් නොවෙන බව ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්‍රීඩා පනතේ සංශෝධන හා ක්‍රීඩා රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රනාන්දු මහතා මේ බව පවසා සිටියේය.
"මම පැහැදිලිවම කියනවා ඔලිම්පික් කමිටුවේ තනතුරුවලට මම ආයෙ එන්නෙ නැහැ. නැවත ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වෙන්න මට අදහසක් නැහැ. අවුරුදු තුන හමාරක් තිස්සේ විසඳගන්න බැරුව, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දක්වා ගෙනයෑමට සිදුවූ ගැටුම් විශාල සංඛ්‍යාවක් ඇතිවුණ ප්‍රශ්න නව සංශෝධන සමග විසඳා ගැනීමට හැකිවුණා. මම කියන්නෙ නැහැ මෙම රෙගුලාසිවලින් තිබුණු ප්‍රශ්න 100%ක් විසඳිලා කියලා. නමුත් ගොඩක් ප්‍රශ්නවලට නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි ඉතාමත් ඉක්මනට, බොහෝ දුරට මාස තුනක් පමණ ඇතුළත ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පවත්වනවා.* යැයි පවසා සිටියේය.