එංගලන්ත-ශ්‍රී ලංකා දීර්ඝ තරග සංචාරය අවසන් කරමින් දෙරට අතර පැවැත්වෙන එකම පන්දුවාර විස්සයි20 තරගය අද (05වැනිදා) සවුතැම්ප්ටන්හිදී පැවැත්වේ. තරගාවලිය පුරාවටම එකදු තරගයක්වත් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී නැතිවෙන්නට දෙයක් නොමැත. එනිසා අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 'ඩූ ඕ ඩයි' තරගයක් කරගත යුතුය. අපි මෙම තරගයේදීවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් උදාවේවායි පතමු.
පළමු වරට සුපිරි තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය ප්‍රසාද ලකුණු 18 ක් ලබමින් දැනටමත් එංගලන්තය ජයගෙන ඇත. නමුත් තරගාවලිය පරාජය වූවා යැයි ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කිරීම තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට කරන අසාධාරණයකි. කණ්ඩායමක් ලෙස එක්ව නැගිටීමට ඇන්ජලෝ ප්රමුඛ තරුණ කණ්ඩායමට තවත් අවස්ථාවක් ලබාදිය යුතුය. හැකියාවන්ගෙන්, දක්ෂතාවන්ගෙන් පොහොසත් තරුණ කණ්ඩායමක් ලෙස එකවිට සාර්ථක නොවීම තරගාවලියේ පරාජයට හේතුවිණි. එබැවින් පන්දුවට පහරදීම, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමද එකවිට සාර්ථක වුවහොත් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසුවක් නොමැත.
කාසියේ වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවස්ථාවක් උදාවුවහොත් ප්‍රථමයෙන් පන්දු යැවීම මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය. අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ද අසාර්ථක වූ බැවින් අද තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කිරීමට අවස්ථාවක් තිබුණද අද තරගයේදීද දෙවැනිවර පන්දුවට පහරදීම නුවණට හුරු ක්‍රියාවකි. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩකයින් වැඩි දෙනෙකුගෙන් සමන්විත බැවින් එහි වාසිය ලබාගැනීමට දෙවැනිවර පන්දුවට පහරදීම වඩා යෝග්‍යය. කුසල් ජනිත්, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක සහ සීක්කුගේ ප්‍රසන්නට ඇති තරම් හැකියාව ඇති බැවින් අවශ්‍යව ඇත්තේ ඉන් එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු වේගවත් සහ දිගු ඉනිමක් ක්‍රීඩා කිරීම පමණි.
එංගලන්ත කණ්ඩායම මේ වනවිට ඉදිරිපත් කරමින් සිටින දක්ෂතා හේතුවෙන් අද තරගයට ඔවුන් පිවිසෙන්නේ තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් හිමි කණ්ඩායම ලෙසිනි. එංගලන්ත කණ්ඩායමද තුන් ඉරියව් ක්‍රීඩකයන් වැඩි දෙනෙකුගෙන් සමන්විත බැවින් ඔවුහුද දෙවැනිවර පන්දුවට පහරදීමට වැඩි කැමැත්තක් දක්වති. එහෙයින් පිටියේ තත්ත්වයද සලකා බලා අද තරගයේදීද කාසියේ වාසිය හිමිකර ගතහොත් පළමුවෙන් පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායම පිටියට පිවිසෙනු ඇත. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 200ක ඉලක්කයක් හිමි වුවද එය හඹා යෑමට හැකි පිතිකරුවන්ගෙන් සමන්විත බැවිනි.
විශේෂයෙන්ම අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ජෝෂ් බට්ලර් වැනි පිතිකරුවන්ද ඔවුන් සතු බැවින් විශාල ලකුණු සංඛ්‍යාවක් වුවද හඹා යෑමට එංගලන්ත කණ්ඩායමට මේ මොහොතේ ගැටලුවක් නොමැත. එහෙත් එංගලන්ත පිතිකරුවන් හිටි හැටියේම එකවර අසාර්ථක වන බැවින්, අද තරගයේදී එසේ නොවේ යැයි කිව හැක්කේ කාටද? කෙසේ වෙතත් තරගාවලිය පුරාවටම එංගලන්ත පිතිකරුවන් දැක්වූ දක්ෂතා හේතුවෙන් එවැනි දෙයක් සිදුවීමට ඇති අවස්ථාව ඉතා අල්පය.
ශ්‍රී ලංකාව මෙම තරගයේදී හෝ ජයග්‍රහණයක් ලබාගත යුතුව ඇත්තේ පසුගිය නොවැම්බර් මස අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 තරගාවලියේදී එය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමෙන් පසුව කිසිදු විස්සයි20 තරගාවලියක් ජය නොගෙන ඇති හෙයිනි. එහිදී නවසීලන්තය, ඉන්දියාව හා විස්සයි විස්ස ලෝක කුසලානයේදීද අපේක්ෂා කළ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවුණි. එහෙත් ශ්‍රී ලංකාව අවසන් වරට (2014) එංගලන්තයේ සංචාරය කළ අවස්ථාවේදී විස්සයි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගත්තේය. එනිසා පරාජය මතින් නැගී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම විස්සිය 20 තරගාවලිය ජයගැනීම අතිශය වැදගත්ය.
අද (05දා) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00ට ආරම්භ වේ.