එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක නසාර් හුසේන් ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත. ඒ ක්‍රිකට් වංශ කථාවේ වැඩිම උසකින් පතිත වූ උඩ පන්දුව රැකගනිමිනි. එළඹෙන එංගලන්ත - පාකිස්තාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව, එංගලන්ත .ස්කයි ස්පෝර්ට්. නාළිකාව විසින් මෙහෙයවන ලද අභියෝගයකදී මෙම වාර්තාව ඔහු පිහිටුවා ඇත. මෙහිදී ඔහු සාර්ථකව රැකගෙන ඇත්තේ අඩි 150 උසින් පතිත වූ පන්දුවකි.
48 හැවිරිදි හුසේන්, ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම වාර්තාව පිහිටුවීමට ක්‍රියා කළ අතර, එහිදී පළමු අවස්ථාවේදීම ඔහු අඩි 104ක උසකින් පතිත වූ පන්දුවක් සාර්ථකව රැකගෙන තිබේ. දෙවැනි අවස්ථාවේදී අඩි 150ක ඉලක්කය වෙත සාර්ථකව ළඟාවිය. කෙසේ නමුත් ඔහු තෙවැනි අවස්ථාවේදී අඩි 400 ක උසකින් පතිත කළ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කළද, එය අසාර්ථක විය.
මෙහිදී පන්දුව එක් එක් උසකට රැගෙන ගොස් බිම පතිත කිරීම සඳහා විශේෂිතව සකස් කරන ලද කුඩා ඩ්‍රෝන (නියමුවන් රහිත) ගුවන් යානයක් භාවිත කරන ලද අතර, මෙම වාර්තාව අධීක්ෂණය උදෙසා ගිනස් කමිටු සාමාජිකයෙකුද පැමිණ සිටියේය. සිය ඉලක්කයට ළඟා වීමෙන් අනතුරුව හුසේන් පැවසුවේ, තමා පිහිට වූ වාර්තාව පිළිබඳ අතිශය සතුටු වන බවයි.
1990 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා එංගලන්ත ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කළ හුසේන්, ටෙස්ට් තරග 96කට හා එක්දින තරග 88කට සිය දායකත්වය ලබා දී ඇත.