සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඉන්දොර්හිදී අද (11දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 321ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
නවසීලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 475ක ඉලක්කයක් හිමිවූ අතර, ඊට පිළිතුරු ලෙස අද (11දා) දිනයේදී ඔවුන්ට සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 153ක් පමණි.
පසුගිය සෙනසුරාදා (08දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, සිය පළමු ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 557ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 299ක් පමණි. ඉන් අනතුරුව නැවතත් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම, නවසීලන්තයට ලකුණු 475ක ඉලක්කයක් ලබාදෙමින් සිය ඉනිම ලකුණු 216කට අත්හිටුවීය.
මෙම තරගයේ කඩුලු 13ක් හා සමස්ත තරගාවලියේ කඩුලු 27ක් දවාලූ, ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
මෙම තරගයේ විශේෂතා
ඉන්දියාව ලැබූ මෙම ජයග්‍රහණය සිය ටෙස්ට් තරග ඉතිහාසයේ ලැබූ සිවුවැනි පූර්ණ තරගාවලි ජයග්‍රහණය වේ. මීට පෙර එංගලන්තය (3-0/ 1993), ශ්‍රී ලංකාව (3 -0 / 1994) හා ඔස්ට්‍රේලියාව (4- 0/ 2013) පරාජය කර ඇත.
නවසීලන්තය සිය ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ 07 වැනි පුර්ණ ටෙස්ට් තරගාවලිය පරාජය මෙය වේ. කෙසේ නමුත් අවසන් වසර ඔවුන් පූර්ණ තරගාවලි පරාජයක් (තරග තුනක් හෝ ඊට වැඩි) ලබා ඇත්තේ 2004 වසරට පෙරය.
ඉන්දියාව සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ලැබූ දෙවැනි ඉහළම ජයග්‍රහණය මෙය වේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය වසරේදී (2015) ලකුණු 339ක ජයක් ලැබීම එහි ඉදිරියෙන් තිබේ. එමෙන්ම නවසීලන්තය වැඩිම ලකුණු පරතරයකින් ලැබූ දෙවැනි පරාජය වන අතර, ඔවුන් දකුණු අප්‍රිකාව හමුවේ 2007 වසරේදී ලකුණු 358කින් පරාජයවීම එහි ඉදිරියෙන් සටහන්ව ඇත.
අශ්වින් මෙම තරගාවලියේදී කඩුලු 27ක් දවාලීමට සමත්වූ අතර, එය ඉන්දීය පන්දු යවන්නෙකු (තරග තුනකින් සමන්විත තරගාවලියක) දවාලූ දෙවැනි වැඩිම කඩුලු සංඛයාව වෙයි. හර්බජාං සිං කඩුලු 32ක් බිඳහෙලා මෙහි ඉදිරියෙන් සිටියි.