ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම ටෙස්ට් පන්දුයවන්නා වන ධම්මික ප්‍රසාද්ට වටිනාකමින් අඩු තරග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි 'අද' ට වාර්තා වේ.ආබාධ හේතුවෙන් ධම්මික ප්‍රසාද් පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැති බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ සිට මේ දක්වා වසරක කාලයක් එකදු ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා නොකර තිබීම හේතුවෙන් ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ධම්මික ප්‍රසාද්ගේ ආබාධය මේ වනතෙක් ස්ථිර වශයෙන් සුවවී නොමැති අතර, ඔහුගේ ආබාධය සුවවී සුපුරුදු දක්ෂතා දැක්වීමට සමත් වුවහොත් ඔහුට ගෙවන වැටුපේ යම් වර්ධනයක් කිරීමට ක්‍රිකට් ආයතනය එකඟ වී ඇතැයි හෙළිවේ.
මේ අතර වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග තම කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරමින් මාලිංග ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා ඇත්තේ සිය කොන්ත්‍රාත්තුව තරුණ ක්‍රීඩකයෙකුට ලබාදෙන ලෙසයි.
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණූ විමසීමට උත්සාහ කළද, ඔහුගේ දුරකථනය කාර්යබහුල වීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් ලසිත් මාලිංගට මෙම වසරේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති හෙයින්, ඔහු සුවවී ක්‍රීඩා කළ හැකි තත්ත්වයක් උදාවුවහොත් කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියේය.ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, ධම්මික ප්‍රසාද්ගේ හා ලසිත් මාලිංගගේ ආබාධ තත්ත්ව තවදුරටත් පැවැතීම නිසා ඔවුන්ට කොන්ත්‍රාත් ලබාදීම සම්බන්ධව ගැටලුවක් පැනනැගී ඇති බවත්, ඒ පිළිබඳව වැඩිදුර විස්තර ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් විමසන ලෙසත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රිකට් ලේකම්වරයා, "තවමත් ලසිත් මාලිංග කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ලේකම්වරයා වශයෙන් මට ලිඛිතව දන්වලා නැහැ. එහෙත් ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත ලිඛිතව කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරලා ලිපියක් එවා තිබෙනවාද කියන්න දන්නෙ නැහැ. ධම්මික ප්‍රසාද්ට කොන්ත්‍රාත්තුව පිරිනැමීම සම්බන්ධයෙන් තවම අපි තීරණයක් අරගෙන නැහැ.
පළමුව මේ ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධවලින් සුව විය යුතුයි. අනතුරුව අපට කොන්ත්‍රාත් සම්බන්ධව සාකච්ඡා කළ හැකියි. සෑම ක්‍රීඩකයෙකුටම වටිනාකමක් තිබෙනවා. උදාහරණයක් ලෙස සචිත්ර සේනානායකව ගන්න. ඔහු අන්තර්ජාතික තරග ක්‍රීඩා කරලා තිබෙන ක්‍රීඩකයෙක්. අපි කොන්ත්‍රාත්තුව දුන්නෙ අන්තර් සමාජ මට්ටමෙන්. දැන් බලන්නකො අලුත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන විලාසය. දැන් තරගකාරීත්වය ක්‍රීඩකයන් අතර වැඩිවෙලා තිබෙනවා.
ක්‍රීඩකයන් දැනගත යුතුයි ඒ තරගකාරීත්වයට මුහුණදීලා කණ්ඩායම තුළ රැඳී සිටින්න. අපේ ක්‍රීඩකයන් පුරුදු වෙලා හිටියේ ක්‍රීඩා කළත්, නැතත් අවුරුද්දේ කොන්ත්‍රාත්තුව ලබාගන්න. දැන් එහෙම බැහැ." යැයි පැවසීය.
මේ වනවිට මෙම ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීම සම්බන්ධව ක්‍රිකට් ආයතනය නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, කකුල් කැඩුණු අශ්වයන්ගෙන් වැඩක් නැතැයි ඔවුන් සිතනවා ඇත. කෙසේ වෙතත් ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයෙකුට වටිනාකමින් අඩු කොන්ත්‍රාත්තුවක් ලබාදීමට හෝ ක්‍රිකට් ආයතනයට අදහසක් පහළවීම පැසසිය යුතුය. ඒ මන්දයත් ධම්මික ප්‍රසාද් මෙන්ම ලසිත් මාලිංගද තවමත් රේස් එකේ ඉදිරියෙන්ම දිවිය හැකි අශ්වයන් වන හෙයිනි.