දෛවය මිනිසුන්ට උපතේ සිට ලබා දෙන අභියෝග පුදුමාකාරය. ඇතැම් ඒවා පහසුවෙන් විසඳාගත හැකි ලෙසට සකස් වී තිබුණද ඇතැම් ඒවා තේරුම්ගත නොහැකි වුවහොත් මුළු ජීවිතය පවා කඩා වැටීමට තරම් බලවත්ය. මෙය නිසිලෙස තෝරා නොගන්නා ඇතැමෙක් අභියෝග හමුවේ පැරදී සිය ජීවිතයෙන් පවා පලා යද්දී තවත් පිරිසක් ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ දෛවයටද අභියෝග ලබා දෙමිනි. මෙවර (2015) පැරාලිම්පික් ලෝක ශූරතාවලියේදී රන් පදක්කම්ලාභී බ්‍රිතාන්‍යයේ හැනා කොක්රොෆ්ට්ද එවැනි එක් අභියෝගාත්මක කාන්තාවකි.
"පොඩි කාලෙ ඉඳලම මට තිබ්බේ නාටිකාංගනාවක් වෙන්න ආසාවක්" ජීවිත වෘත්තාන්තය පසුගියදා එලෙසින් මාධ්‍ය වෙත විවර කරමින් ඇය පවසන්නීය.
උපතේ සිට අද වනතෙක් දෙපය හසුරුවා නිසිපරිදි සිය පියවර සකසා ගත නොහැකි වුවද සිය ජීවන මගේ ඉදිරි පියවර සාර්ථක ලෙස හසුරවා ගැනීමට ඇය මේ වනවිට සමත්වී ඇත.
"මගේ රෝගී තත්ත්වයත් එක්ක නැගිටගන්න බැරි වුණත් මට තිබ්බෙ ලොකු යථාර්ථවාදී නොවන හීනයක්" යැයි ඇය පවසයි.1992 වර්ෂයේදී උපත ලැබූ හැනා උපත ලබන විටම සෙලිබ්රල් පල්සි (පක්ෂ ඝාතය) නමැති අවයව විකෘති වීමේ රෝගයකින් පෙළුණාය. ඒ හේතුවෙන් කුඩා කල සිටම රෝද පුටුවකට සීමාවීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණු දීමට ඇයට සිදුවිය. සිය තත්ත්වය එලෙස වුවද තම එකම බලාපොරොත්තුව වූ නාටිකාංගනාවක් වීමේ සිහිනය ඇය අත් නොහැරියාය.
"අම්මයි තාත්තයි අපේ පැත්තෙ මාව දාන්න නොගිය නැටුම් පාසලක් නෑ. නමුත් ඒ කිසිම තැනකින් මාව ගන්න කැමැති වුණේ නෑ. ඔවුන් කිව්වේ මට කිසිම දෙයක් කර ගන්න බැරිවෙයි කියලා. නමුත් එක ගුරුවරියක් ඇගේ පංතියට මාව ගන්න කැමැති වුණා" කුඩා හැනාගේ දිගු ගමනක ආරම්භය එලෙස සටහන් කෙරිණි. "එහිදී මට නිර්මාණාත්මක නැටුම් කලාවක් ඉගැන්නුවා. මට කළ හැකි ආකාරයට. මම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් වුණත් ඒක මට විශාල අත්දැකීමක් වුනා" ඇය පවසයි.
කෙසේ වෙතත් නර්තනයෙන් ලැබූ පන්නරයත් සමගින් ඇය ක්‍රමයෙන් පිහිනුම්, පැසිපන්දු, රග්බි වැනි ක්‍රීඩා සඳහාද යොමුවන්නීය. ඒ හරහා මලල ක්‍රීඩාවට ඇයගේ ආගමනය සිදුවන්නේ 2007 වර්ෂයේදීය. ඒ බ්‍රිතාන්‍ය පාසල් පැරාලිම්පික් සම්මේලනය මගින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරගාවලියේදීය. එහිදී ඇයගේ දක්ෂතා දුටු දානපතියෙකු ඇයට ධාවන තරගා සඳහා භාවිත කරන රෝද පුටුවක් තෑගි කළ අතර එය ඇගේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් විය. නොපසුබස්නා වීර්යයත් ධෛර්යයත් සමගින් පුහුණුවීම් සිදු කළ හැනා 2008 වර්සයේදී බ්‍රිතාන්‍ය ආබාධිත මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් වීමට තරම් දක්ෂ වූවාය.
කෙසේ නමුත් සිය ක්‍රීඩා ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2011 ලෝක කනිෂ්ඨ පැරාලිම්පික් ශූරතාවලියේදී මීටර් 200 හා 400 ධාවන ඉසව් (ටී.34/53) වලින් රන් පදක්කම් දිනාගැනීමට ඇය සමත් වන්නීය. ඉන් අනතුරුව එම වර්ෂයේදීම නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හීදී පැවැති ලෝක ශූරතා පැරාලිම්පික් තරගාවලියේදීද රන් පදක්කම් ද්විත්වයක් හිමි කරගැනීමට සමත් වන්නේ පැරාලිම්පික් මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂි සලකුණක් සනිටුහන් කරමිනි.
එහිදී ඇය පවසන්නේ, එකල ඇයට පැරාලිම්පික් පදක්කමක් ලබාගැනීමේ දැඩි ආශාවක් පැවතුණු බවයි.
සිය අභිප්‍රාය මල්ඵල ගන්වමින් ඇය 2012 ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදීද පදක්කම් ද්විත්වයක් හිමි කරගත් අතර, ඉන් අනතුරුව 2013 ලෝක ශූරතාවලිය (රන් පදක්කම් 2), 2014 යුරෝපානු මලල ක්‍රීඩා ශූරතාවලිය (රන් පදක්කම් 2) හා 2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය (රන් පදක්කම් 3) ද ඇය පදක්කම් හිමි කරගත් තරගාවලි විය. ඇය එහිදී ටී.34 අංශයේ මීටර් 200, 400 හා 800 ඉසව්වලින් රන් පදක්කම් හිමි කර ගැනීමටද සමත් වූවාය.
කෙසේ වෙතත් ඇය පවසන්නේ ඇගේ දක්ෂතා දෙමවුපියන් විසින්ද අගය නොකළ බවයි. "මම පැරාලිම්පික් පදක්කමක් දිනා ගත්තට පස්සෙ අපේ තාත්තත් කිව්වෙ ඔයාට ලෝක වාර්තාව අබිබවා යන්න අමාරු වෙයි කියලා. නමුත් මම ඒ සියලු වාර්තා අභිභවා ගියා" යනුවෙන් ඇය පවසයි.
එළඹෙන 2016 පැරාලිම්පික් තරගාවලිය සඳහාද සුභ සිහින දකින ඇය එවර තරගාවලියේදීද සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට බලාපොරොත්තු වන බව පැවසුවාය."අපිව ආබාධිත ක්‍රීඩකයන් හෝ පැරාලිම්පික් ක්‍රීඩකයන් ලෙසින් හඳුන්වනවට මම කැමැති නෑ. අපිට වෙනසක් කරනවා මට නම් පෙන්නන්න බෑ. අතපය හොඳට තියෙන ක්‍රීඩකයන්ට අපි පොඩි කාලෙ ඉඳල ඔලිම්පික් පදක්කම්ලාභියෙක් වෙන්න කියලා කියනව නම් ඇයි අපි ආබාධිත ක්‍රීඩකයෙක්ට එහෙම නොකියන්නෙ" ඇය අවසන් වශයෙන් විමසන්නීය.