තම අවසන් ටෙස්ට් තරගය මහනුවර ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරුවද ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි. එසේම තම අවසන් තරගය නුවර ක්‍රීඩා කිරීමට නොහැකි වීම ගැන සිය ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය. ඊයේ (11දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. දේශපාලනයට එක්වීමට බලාපොරොත්තුවක් නැති බවත් ඔහු සඳහන් කළේය.
පළමු ලකුණ
ඉස්සෙල්ලාම පළමු ලකුණ ගහගෙන ඉන්න ඕන. ඕනෑම පිතිකරුවෙකුට පළමු ලකුණ ගහනකම් ඉවසීමක් නෑ. පළමු ලකුණ ගහලා තමයි ඉතිරි ලකුණු ගන්න ඕන. අපට කළමනාකරුවෙක් හිටියා, එයාගේ නම කියන්නේ නෑ. එයා ඉන්දික ද සේරම්ගෙන් ඇහුවා 'ඔයා ලකුණු කීයක් ගහනවද' කියලා. ඉන්දික කීවා '100 ක් විතර ගහන්නම්' කියලා. '100 ක් නෙමෙයි අයිසේ එකක් ගහලා ඉන්නවා කිවුවා. ඉතින් එහෙම තමයි පිතිකරුවො ගොඩක් හිතන්නේ.
පිතිකරණයට සම්පූර්ණයෙන් අවධානය
මගේ කඩුලු රැකීම නැවැත්වීමට මම එතරම් කැමති වුණේ නෑ. නමුත් තේරීම් කමිටුව විශේෂයෙන් කතා කරලා කිවුවා අපි බලන්නෙ ඔයාගේ පිතිකරණය තවත් හොඳ කරන්න කියලා. මේක කරන්න, ඔයාටත් කණ්ඩායමටත් හොඳ වෙයි කියලා කිවුවා. ඒ කාලෙ මම හිතුවා. මම ඊටපස්සේ කල්පනා කරලා බලද්දි මට තේරුණා ඒක තමයි පිතිකරණයට වුණ හොඳම දේ කියලා. මට ඒ තීරණය ගන්න නොදී ඔවුන් එම තීරණය ගැනීම ලොකුම දෙයක්. මගේ ශතකවලටත්, මම ලබාගත්ත ලකුණුවලටත් ඒක ලොකු පිටුවහලක් වුණා.
පියාගේ ඇමතුම
2012 දී හෝ 2013 දී තාත්ත මට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා ඇයි ඔයා තවදුරටත් ක්‍රිකට් ගහන්නෙ කියලා. දැන් වෙන දෙයක් කරන්නෙ නැත්තේ ඇයි කියලා. මමත් ගැස්සුණා, ඇයි මගේ තාත්තම ඒක මගෙන් අහන්නෙ කියලා. එදා ඉඳන් තමයි මම කල්පනා කරලා බැලුවෙ මේක මගේ අන්තිම කාලෙ නේද? තව ගොඩක් කල් ක්‍රිකට් ගහන්න බෑ, ඒ නිසා තීරණයක් ගන්න ඕන කියලා. ඒක නිසා තමයි ලෝක කුසලානයෙන් අයින් වෙන්න හිතලා සාකච්ඡා කිහිපයකින් පසු තවත් ටෙස්ට් තරග හතරකට බැඳුණෙ.
දෙමාපියන් බැලුව දේ
දෙමාපියන් මගේ ළඟින් බැඳිලා ඉන්නවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එන දේ ඒ අයට වැදගත් නෑ. මම සන්තෝසෙන් ඉන්නවාද? ක්‍රීඩා කරනවා නම් හරියට ක්‍රිඩා කරනවාද? ඒ දේ ගැන තමයි ඒ අය වැඩියෙන් උනන්දු වුණේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මම ජනතාව අතර ප්‍රචලිත වුණාද කියන දේ ඒ අය බැලුවෙ නෑ. මම මේක ගැන කතා කළාමත් තීරණය හරි වෙලාවට ගන්න කියලා, වෙන අතක් ගැන හිතන්න එපා කිවුවා. ඉතින් මගේ බිරිඳත් එක්ක සාකච්ඡා කරලා තීරණය ගත්තා.
දෙවැනි පෙළක් නෙමෙයි පළමු පෙළක්
දෙවැනි පෙළ නෙමෙයි අපේ කණ්ඩායමේ ඉන්න අය පළමු පෙළ ක්‍රීඩකයන්. මේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි අපේ ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකයන්. මම හිතන්නෙ ඔවුන්ට දෙවැනි පෙළ කියන එක අසාධාරණයි. ඒ වගේම ඔවුන්ට හැමවෙලාවෙම ඒත්තු ගන්වන්න ඕන ඔවුන් තමයි මෙතන ඉන්න සාර්ථකම ක්‍රීඩකයන් කියලා. ඔවුන් සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුවවන්. නමුත් ඔවුන් මෙතන ඇවිත් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්නෙ, එක්දින වරම් ලබන්නෙ හොඳම අය නිසා.
අවස්ථාව ලබාදිය යුතුයි
ඔවුන් ඉතාමත් හොඳ මහන්සියෙන් වැඩ කරන ක්‍රීඩකයන්. හැම කෙනාගෙම දක්ෂතා එක සමාන නෑ. ඒ වගේම දක්ෂතා දියුණු කරන්නත් සමහර අයට කල් යනවා. ඉතින් ඒ ඉඩකඩ, අවස්ථාව, සහාය ලබාදුන්නොත් මෙතන ඉන්න ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ලෝකයේ හොඳම ක්‍රීඩකයන් වෙන්න අවස්ථාව තියෙනවා.
දේශපාලනයට එන්නේ නෑ
මට තාම දේශපාලනයට ආරාධනාවකුත් නෑ, බලාපොරොත්තුවකුත් නෑ. ඒ ගැන තාම හිතලත් නෑ.
ටෙනිස් හා බැඩිම්න්ටන්
මම පොඩි කාලෙ ටෙනිස් හා බැඩ්මින්ටන් ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. ඉතින් පුළුවන් අවස්ථාවල ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙනවා. නමුත් වයසත් එක්ක, දණහිස් අමාරු එහෙන් මෙහෙන් පටන්ගන්නවා. කොහොම වුණත් එතරම් වෙලා සෙල්ලම් කරන්නෙ නෑ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් කරනවා.
පුහුණුවීම් ගත්තොත් දුවනවා, බර උසුලනවා. ඒ එක්කම ක්‍රීඩකයන් පුරුදු වෙන්න ඕන වෙනත් ක්‍රීඩාවක් කරන්න. අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා. ඒ දේවල් තුළින් තමන්ට දියුණු වෙන්න අවස්ථාවක් තියෙනවා. මානසික ඒකාග්‍රතාව, ශාරීරික යෝග්‍යතාව දියුණු කරගන්න ඒක හොඳ අවස්ථාවක්. සමහරු ආස නෑ හැමදාම දුවලා, ජිම් ගිහිල්ලා ඒ දේවල් කරන්න. ඒ අයටත් පුළුවන් නම් වෙනත් විදියකින් මේ දේවල් කරන්න, ඒක හොඳ දෙයක්. ඒ වගේම අපි කල්පනා කරලා බලන්න ඕන විනෝදාංශයක් ලෙස ක්‍රීඩා කරලා ඒකෙන් තමන්ගෙ ක්‍රිකට් ක්‍රීඩාවට යම් දෙයක් ලබාගන්න.
නුවරට ආදරෙයි
මම නුවරට විශේෂයෙන් ආදරය කරනවා. මම කියලා තියෙන්නෙ ජීවත්වෙන්නෙත් නුවර කියලා. මට වාසනාව ලැබුණා ටෙස්ට් තරගවලින් හා එක්දින තරගවලින් මට අවශ්‍ය විදියට යන්න. මට තව දේවල් ඉල්ලන්නත් බෑ. මම හිතන්නෙ ක්‍රිකට් පාලක මණ්ඩලය සෑහෙන ප්රයත්නයක් දැරුවා නුවර ක්‍රීඩා කරන්න. නමුත් පෙරහරයි, සමහර දේවල් එක්ක ඒ දේ අමාරු වුණා. නුවරින් තමයි මම ක්‍රිකට් පටන්ගත්තේ. සුනිල් ප්‍රනාන්දු මහතා තමයි මට ක්‍රිකට් පුහුණු කළෙත්. ඔහුටත්, නුවරටත්, නුවර ප්රේක්ෂකයන්ටත් ස්තුතිවන්ත වෙනවා. මම සමාව ඉල්ලනවා නුවර ක්‍රීඩා කිරීමට බැරිවුණ එක ගැන.
පරිපාලනයට එක්වීම
පරිපාලනයට යන්න කලින් අවුරුද්දක් දෙකක් ඈත් වෙලා, ක්‍රීඩකයෙක් කියන මානසිකත්වයෙන් ඉවත් වෙලා, මධ්‍යස්ථව කටයුතු කරන මානසිකත්වයකින් ඇවිල්ලා ශ්‍රී ලංකාවටත්, ක්‍රිකට්වලටත් යම්කිසි උදව්වක් කරන්න ඕන නම් ඕන වෙලාවක පෙනී සිටිනවා.
ඡායාරූප ශාන්ත රත්නායක