සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (14දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 02 ක් දැවී ලකුණු 250 ක් රැස්කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳි සිටින ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 135ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 72 ක් රැස්කරගෙන සිටිති.
කෞෂාල් සිල්වා සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, මන්දගාමීව ගොඩනැගුණු ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 56 කට සීමාවෙමින් කෞෂාල් දැවී ගියේය. කෙමර් රොච්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රම්දීන් වෙත උඩපන්දුවක් ලබාදී කෞෂාල් පිටියෙන් ඉවත් වනවිට ලකුණු 17 ක් රැස්කරගෙන සිටියේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි උපනායක ළහිරු තිරිමාන්න, දිමුත් හා එක්ව ලකුණු 45ක සබඳතාවක් ගොඩනගා සිටියදී ඩිවෙන්ද්ර බිෂෝගේ පන්දුවක් හමුවේ රාජෙන්ද්‍ර චන්ද්‍රිකා (අතිරේක) වෙත උඩපන්දුවක් ලබාදී දෙවැනි කඩුල්ල ලෙස තිරිමාන්න දැවී ගියේය. පන්දු 62කට මුහුණදී සිටි ඔහු දැවී යනවිට ලකුණු 16 රැස්කරගෙන සිටියේය.
කෙසේ නමුත් එය අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමට අහිමි අවසන් කඩුල්ල විය. තෙවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්, දිමුත් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වගකීම් භාරගත් අතර, ඔවුන් දෙදෙනා සිය වගකීම භාරගත් පරිදිම ඉටුකරමින් දිනය නිමාවන විට තෙවැනි කඩුල්ලට ලකුණු 149ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා සිටියහ. ඒ අතරවාරයේ සිය තෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තාකිරීමට දිමුත් සමත්වූ අතර, දිනේෂ් චන්දිමාල් තම 09 වැනි ටෙස්ට් අර්ධ ශකය රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා පිතිකරුවන් පාලනය කිරීමට සඳහා කොදෙව් නායකයාට තමන් ඇතුළුව පන්දු යවන්නත් හත් දෙනෙකු යොදා ගැනීමට සිදුවූ අතර, ඔවුන්ගෙන් කෙමර් රොච් (1/33) හා ඩ්වෙන්ද්ර බිෂෝ (1/78) එක් කඩුල්ල බැගින් දවාගැනීම හැරෙන්න සෙසු පන්දු යවන්නන්ට සැලකිය යුතු දක්ෂතාවක් අද දිනයේදී ඉදිරිපත්කිරීමට නොහැකි විය. හෙට (15දා) තරගයේ දෙවැනි දිනයයි
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව