දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන ආසියානු පැරා ක්රීඩා උලෙළේ අද (22දා) පැවැති මේසපන්දු කේවල පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකාවට දිනාදීමට දිනේෂ් දේශප්රිය සමත් විය. දිනේෂ් අවසන් තරගයේදී ඉන්දුනීසියානු ක්රීඩක ඩියාන් ඩේවිඩ් හමුවේ තරග වට 3/1ක් (11/06, 11/05, 07/11, 11/09) ලෙස පරාජය විය.
ඔහුට අමතරව ඊයේ (21දා) දිනයේදී තම දෙවැනි රිදී පදක්කමද දිනාදීමට ශ්රී ලංකා කොමාන්ඩෝ බළකායේ අනිල් ප්රසන්න ක්රීඩකයා සමත් විය. මීටර් 100 පිරිමි (ටී.42) අවසන් තරගයට සහභාගී වූ අනිල් තත්. 12.91 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම ජයග්රහණය කළ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද විය. මෙම ඉසව්වේම ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ උපාලි ඉන්දික සමත්වූ අතර, ඒ සඳහා ඔහු තත්. 13.71ක දක්ෂතාවක් දැක්වීය. අනිල් මීට පෙර දුරපැනීම එක් කකුලක් ආබාධිත ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකාව වෙනුවෙන් ජයග්රහණය කළේය.
මේ වනවිට දුමින්ද මධුරංග (දුරපැනීම/එක් කකුලක් ආබාධිත), ඉන්දුමතී කරුණාතිලක (මී. 200/එක් අතක් අහිමි) ශ්රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම බැගින් ජයග්රහණය කර ඇති අතර, එම පදක්කම් දෙකක් සමගින් ශ්රී ලංකාව මේ වනවිට රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා පදක්කම් සටහනේ 21 වැනි ස්ථානයේ රැඳී සිටියි.