14 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය අද (07දා) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භ වේ. ආසියා, ඔස්ට්‍රේලියා, අප්‍රිකා, යුරෝපා හා ඇමෙරිකා කලාප නියෝජනය කරමින් එම කලාපවල විශිෂ්ටතා දැක්වූ කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්වන අතර, ඔවුන් කාණ්ඩ 04ක් යටතේ තරග වදිනු ලබයි.
මෙහි 'ඒ' කාණ්ඩයෙන් සත්කාරක ඔස්ට්‍රේලියාව තරග වදින අතර, එම කාණ්ඩයට බාබඩොස්, නවසීලන්තය හා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ තරග වදියි. වත්මත් දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානයේ පසුවන හෙයින් මෙම කාණ්ඩය වැඩි තරගකාරීත්වයක් ගනු ඇති බව අනුමාන කළ හැක.
කෙසේ නමුත් ලෝක ශ්‍රේණිගතකිරීම්හි තෙවැනි හා සිවුවැනි ස්ථානයන්හි පසුවන පිළිවෙළින් එංගලන්තය හා ජැමේයිකා මෙහි 'බී' කාණ්ඩයෙන් තරග වදින හෙයින් එම කාණ්ඩයද බැහැර කළ නොහැක. සැමෝවා හා ස්කොට්ලන්තය මෙම කාණ්ඩයෙන් තරග වදින සෙසු කණ්ඩායම් වෙයි.
මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් අතරින් වත්මන් දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්හි පහළම ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි 'සී' කාණ්ඩයෙන් තරග වදියි. වත්මන් ආසියානු ශූර සිංගප්පූරුව, මලාවි හා දකුණු අප්‍රිකාව එම කාණ්ඩයට ඇතුළත් වෙති. පසුගිය ජූලි මස 01 වැනිදා අවසන් වරට එළිදැක්වූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාව එහි 22 වැනි ස්ථානයේ පසුවෙයි. මෙම කාණ්ඩයෙන් තරග වදින දකුණු අප්‍රිකාව හා මලාවි පිළිවෙළින් 05 වැනි හා 06 වැනි ස්ථානයන්හි පසුවන අතර, සිංගපූරුව 15 වැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව මෙම කාණ්ඩයේ ඉදිරියට යාම ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් විය හැකිය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව හැරෙන්න වෙනත් කිසිදු රටක් ආසියානු කලාපයෙන් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා නොමැති හෙයින්, තරගාවලියේ ඉදිරියට යෑම මෙන්ම, ආසියානු කලාපයේ සිය අභිමානය රැකගැනීමට දෙරට අතර වෙනම සටනක් ගොඩනැගෙනු ඇත. විශේෂයෙන් අවසන් වරට පැවැති ආසියානු කුසලාන තරගාවලි දෙකෙහිම ශූරතාව සිංගපූරුව විසින් දිනාගෙන ඇති හෙයින්, එම අවස්ථා දෙකෙහිම අවසන් තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වී ඇත.
මෙම කාණ්ඩවලට අමතරව තරගාවලියේ 'ඩී' කාණ්ඩයෙන් ෆීජි, වේල්ස්, උගන්ඩා හා සැම්බියා කණ්ඩායම් තරග වදින අතර, ලෝක ශ්‍රේණිගතකිරීම්හි 07 හා 08 වැනි ස්ථානයන්හි පසුවන ෆිජි හා වේල්ස් කණ්ඩායම් එම කාණ්ඩයේ සිටින ප්‍රබලම කණ්ඩායම් වෙයි.
1963 වසරේ එංගලන්තයේදී ආරම්භ වූ පළමු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර, නවසීලන්තය එවර අනුශූරතාව දිනාගත්තේය. මේ දක්වා සමශූරතාවක් සමගින් ලෝක ශූරතා 10 දිනා ඇති ඔස්ට්‍රේලියාව වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන රට වන අතර, අවසන්වරට පැවැති 2007 හා 2011 වර්ෂවලදීද ඔවුහු ශූරයෝ වූහ.
ශ්‍රී ලංකාවද 1963 වසරේ සිට මෙම තරගාවලිය නියෝජනය කරන අතර, එවර 'සිලෝන්' නාමය යටතේ තරග වැදී ඇත. කෙසේ නමුත් ඉන් පසු 1967, 1971, 1975, 1979 වර්ෂවල පැවැති තරගාවලි 04 ක් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වී නොමැති අතර, නැවත ලෝක ශූරතාවලිකකට සහභාගීවන්නේ පළමු තරගාවලිය පවත්වා වසර 20කට පසු එනම් 1983 වර්ෂයේදීය.
තරගාවලියේ පළමු දිනය වන අද (07දා) දිනයේ මූලික වටයේ තරග 08 ක් පැවැත්වෙන අතර, එහි ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය සිංගප්පූරුව සමගින් පැවැත්වේ. මෙය ඔස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව. 11.50 (ශ්‍රී ලංකා වේලාව ප.ව. 4.20) ආරම්භ වේ.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා සේමිණී අල්විස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සඳුදා (03දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ගයනි සමන්තිකා මෙහි උපනායිකාව ලෙස කටයුතු කරන අතර, දර්ෂිකා ලක්මාලි, සුරේඛා කුමාරි, දර්ශනී අබේකෝන්, ශානිකා වීරරත්න, ලක්මාලි මෙන්ඩිස්, ගයාංජලී අමරවංශ, නිරෝෂනී පායිවා, තිසාලා අල්ගම, දිළිණි දිනේෂිකා සහ විරාජි චමරිකා කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝ වෙති.
ඔවුන්ට අමතරව කණ්ඩායම් පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කරන අතර, සහාය පුහුණුකාරිනිය ලෙස තමාරා ලියනගේ මහත්මිය කටයුතු කරයි.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම