දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගවලින් රු.ලක්ෂ 72ක වාර්තාගත ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපයාගත හැකිවූ බවත්, ඉදිරියේදී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ආසන 40,000ක් ලබාදී සංවර්ධනය කරන බවත්, දඹුල්ල ක්‍රීඩාංගණ භාරකරු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ව්‍යාපෘති කළමනාකරු සුජීව ගොඩලියද්ද මහතා පැවසීය.
එසේම මීළඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යාපනයේ ඉදිකිරීමට නියමිත බවත්, ඉදිරි වසර 03 තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට්වල පැහැදිලි සංවර්ධනමය වෙනසක් ඇති කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙහිදී වැඩිදුර අදහස් පළකළ ඒ මහතා, "2001 තමයි දඹුල්ලේ ප්‍රථම තරගය පැවැත්වුණේ. එදත් මේ වගේම සෙනඟ හිටියා. හැබැයි අපි පසුගිය වසර 10 තුළදීම මෙම ක්‍රීඩාංගණය අතැරලා තිබුණේ. මෙවර තරගාවලියට අපි හොඳින් සූදානම් වුණා. විදුලි ආලෝක පද්ධතිය වැඩිදියුණු කළා. පළමු තරගයේදී රුපියල් ලක්ෂ 46ක් හා දෙවැනි තරගයේදී රුපියල් ලක්ෂ 26ක් අපිට උපයාගන්න හැකි වුණා. මෙහි ලක්ෂ 46ක මුදලක් උපයාගැනීම දඹුල්ල ක්‍රීඩාංගණ ඉතිහාසයේ උපයාගත් වැඩිම ආදායමයි" යනුවෙන් පැවසීය.
"ලෝක කුසලානයට අපි තේරුණේ (Bid) දඹුල්ල පෙන්නලා. නමුත් ඊට පස්සේ ආපු පරිපාලකයන් අපිව ලෝක කුසලානයේ ක්‍රීඩාංගණයක් නොකර වෙනත් ක්‍රීඩාංගණ හදලා ලෝක කුසලානය ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩාංගණයට ආසන 40,000ක් ඇතුළත් කර සාමාන්‍ය ජනතාවට දඹුල්ලේ වැඩි ඉඩක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා" යැයි ප්‍රකාශ කළේය.